
2008-01-28
ස්වර්ණ භූමියේ මනරම් මාළිගාව කෝ !!!

ඉතිහාසය විසින් මග දමා ගිය හැම දෙයක් ම වර්තමානයට බර වැඩි යයි කියමනක් තිබේ. මෙය සත්‍යයක් ද? අසත්‍යයක් ද? කිසිදු භෞතික බලපෑමකින් තොරව සොබා දහමේ නියමයට අවනතව කාලයේ වැලි තලාවෙන් වැසී ගිය සංසිද්ධීන් විෂයෙහි එකී කියමන සත්‍යයකි. එහෙත් යම් යම් අරමුණු අපේක්ෂා මත බලෙන් යටපත් කරන ලද දේ විෂයෙහි එම කියමන පුස්සක් වෙයි. උතුරු නැගෙනහිර ඊනියා නිජ බිම් සංකල්පය තහවුරු කරනු වස් අකාමකා දමන ලද බෞද්ධ උරුමය එබන්දකි. එම ප්‍රදේශවල බොහෝ බෞද්ධ සිද්ධස්ථාන පොළවට සමතලා කර හින්දු කෝවිල් ඉදිකර ඇත. අධිරාජ්‍යවාදීන්ගේ උවමනාවට ඊලාම් ඉතිහාස ග්රන්ථ රචනා කොට ඇත. සිංහල ග්‍රාම නාම වෙනුවට ද්‍රවිඩ නම් යොදා ඇත.එසේ වූ පමණින් එය ද්‍රවිඩ නිජ බිම වන්නේ නැත.
උතුරු නැගෙනහිර සිංහල උරුමය සනාථ කරන ද්‍රවිඩ නිජ බිම් සංකල්පය අනාථ කරන ඓතිහාසික ලේඛනයකි, වල්ලිපුරම් රන් සන්නස. එය හමු වූයේ යාපනයේ වඩමාරච්චිහි විෂ්ණු දේවාල බිමෙනි. කි. ව. 1 වන සියවසට අයත් මේ සන්නස වසභ රජුගේ ඉසිගිරය නම් ඇමතියෙකු විසින් කරවන ලද්දකි. එමෙන් ම එය අපර බ්‍රහ්මි අක්ෂරයෙන් ලියවුණකි.
වල්ලිපුරම් රන් සන්නස:
"සිධ, මහරජ වහයහ අමෙතෙ
ඉසිගිරය නකදිව බුජමෙනි
බදකර අතනෙහි පියගුක තිස
විහර කරිතෙ"
අනුවාදය:
"යහපතක් වේවා! වසභ මහ රජු රජයන කාලයෙහි ඉසිගිරය ඇමතිවරයා නාගදීපය පාලනය කරමින් බදකර අතනෙහි පියගුකතිස විහාරය කරවන ලදි."
වසභ රජතුමාගේ පාලන සමය කි.ව. 65 සිට 109 දක්වා බව සඳහන් වේ. 'අමෙතෙ' යන්න යෙදෙන්නේ ප්‍රාදේශීය පාලකයා යන අරුතිනි. උඩුකන්දර ලිපියේ 'මහමෙති' යනුවෙන් සඳහන් වේ. මේ අනුව එම තණතුරු නාමය කි.පු. යුගය දක්වා ගමන් කරන බව පැහැදිළි ය. 'බදකර' යනු වල්ලිපුරම්හි පැරණි සිංහල නාමයයි. පැරණි නාගදීපය, දූපත පමණක් නොව වත්මන් යාපන අර්ධද්වීපය ම බව පෝල් ඊ. පීරිස් සහ ඩී.බී.ජයතිලක යන මහත්වරුන්ගේ අදහසයි. මේ අනුව බුදු රජුන්ගේ දෙවන ලංකාගමනය හා බැදුණු නාගදීපය, යාපනය වන අතර චුන්නාක්කම් (චුල්ලනාග ගාම) මල්ලාකම් (මහානාග ගාම) යන ග්‍රාම නාමයෝ එකී ඓතිහාසික පුවත සිහිගන්වති.
13 වන සියවසේ යාපනය ද්‍රවිඩ ආධිපත්‍යයට යට වූ අතර 1448 සපුමල් කුමරු ආර්ය චක්‍රවර්ති පරදවා ශ්‍රී සංඝබෝධි භුවනෙකබාහු නමින් රජවූ බව සිංහල සහ ද්‍රවිඩ මූලාශ්‍රයන්හි සඳහන් වේ. ඩී කූටෝ, ඩික්වේරෝස්, වැලන්ටයින් ආදී පෘතුගීසි ලන්දේසි ලේඛන ද ඊට සාක්ෂි වේ. මේ පුවත තහවුරු කරන සෙල් ලිපියක් ලංකා කෞතුකාගාරයේ තිබේ.
නල්ලූර් කන්දසාමි කෝවිලේ තේවාව කරන විට කියන කාන්තියම් චූර්ණිකාවේ සහ යාපනය ඉතිහාසයේ (කනක සූරිය ආරියන්ගේ කෘතියෙකි.) එම කෝවිල පමණක් නොව යාපනය නගරය ද ශ්‍රී සංඝබෝධි රජු කරවූ බව සඳහන් වේ.
"ශ්‍රීමත් මහා රසාදීරාස අකණ්ඩ පූමණ්ඩල ප්රතියති කන්දර විස්රාන්ත කීර්ති සිරි ගජ වල්ලි මහා වල්ලි සමෙන. සුප්රමණීය පාදර වින්ද(පු)ජනාති දිරූඩ. සොඩස මහා දාන සූරිය වංසෝත්පව සිරි සංග පෝදි "
මේ අනුව සපුමල් කුමරු ඇමතියෙකු නොව රජෙකු බව ද එතුමා යාපනයේ බොහෝ වෙහෙර විහාර කළ බව ද පිළිගත හැකි ය. උඩුවිල්, කොත්තුවිල්, කොණ්ඩාවිල්, මිරිසුවිල්, මානිපේ, සන්ඩිරුප්පේ, කෝපායිමල්ලකම්, කොඩිකාමම්, සුරාවත්තෛ, සින්නා වත්තෛ, කට්ට පොක්කණේ ඉන් කිහිපයක් බව මුත්තු තම්බ පිල්ලෙ, බාලසුබ්රමනියම් සර්මා ආදී දෙමළ ඉතිහාසකරුවෝ පවසති. එපමණක් නොව යාපනය කොටස් 4ට බෙදා සිංහල සෙන්පතියන් හතර දෙනෙක් යටතේ පාලනය වූ බව ද ඉතිහාසයේ සඳහන් වේ. මේ අනුව යාපනය ද්‍රවිඩ ආධිපත්‍යයට යට වූ සිංහල රාජ්‍යයේ ම කොටසක් බව සනාථ වේ.
මෙම ඉතිහාස කරුණු ගෙන හැර පාන්නේ අපේ දෙමළ ඥාතීන්ට එරෙහිව නොවේ. ඊනියා ද්‍රවිඩ නිජ බිම් ප්‍රලාපයට එරෙහිව ය. ද්‍රවිඩ ජාතිවාදයට එරෙහිව ය. ද්‍රවිඩ ජාතිවාදයේ මුහුණු කිහිපයකි. ත්‍රස්තවාදය එකකි. ෆෙඩරල් වෙස් මහුණ පැළඳ රඟන ප්රජාතන්ත්රවාදී නාටකය අනෙක ය. කිරෙන් බැද්දත් තෙලෙන් බැදදත් පරෙයියා පරෙයියාම ය. එහෙයින් මේ වූ කලී සකලාකාර බෙදුම්වාදීන්ට එරෙහිව ලියවෙන්නකි.
බෙදුම්වාදය අපට අහිමි කරන්නට සැරසෙන්නේ සිය වස් ගණනක් සිංහල අප සමග ජීවත්වූ අපේ සමීප ම අසල්වැසියා ය. මිතුරා ය. ඥාතියා ය. පන්සලේ කෝවිලේ කතරගම පුද බිමේ අප සමඟ එක ම දෙවියන් පිදූ මිතුරා ය. ඔවුන් නිර්මාණය කරන්නට සැරසෙන්නේ සදාකාලික දේශසීමා අර්බූදයකි. රිසි සේ සූරා කෑමට හැකි දුබල රාජ්‍ය දෙකකි. අද එළිමහන් සිර කඳවුරක් වන් ගාසා තීරයේ අපා දුක් විඳින පලස්තීන වැසියන්ගේ ඉරණම අපට ද උරුම කරවන්නකි. අනෙක් අතට විවිධ ඒජන්තයින් මේ ව්‍යාපෘතියට සහාය වන්නේ ද්‍රවිඩ ජනතාව කෙරෙහි අනුකම්පාවෙන් නම් නොවේ. ඉරාකයේ ලක්ෂ 6ක් මරා දැමූ අලුගෝසුවන්ට ද්‍රවිඩයන් කෙරෙහි විශේෂයෙන් උපදින මානව දයාව කුමක් ද? මෙය සිය අරමුණු සඳහා ද්‍රවිඩයන් නිර්දය ලෙස පාවිච්චි කිරීමක් පමණි. එහෙයින් ඊට එරෙහිව වහාම නැගී සිටීම සැබෑ ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමයි. යුතුකමයි.
වෛද්‍යවරයාට රෝගියා සහ ප්‍රතිකාර පිළිබඳ අවබෝධය අත්‍යවශ්‍ය වේ.උණ සීතල කෑම අරුචිය වෙව්ලීම ආදිය අපට බාහිරින් පෙනෙන රෝග ලක්ෂණ මිස රෝග නිධානය නොවේ. රෝගය අනෙකකි. පැරසිටමෝල් වර්ගයක් පාවිච්චි කළ පමණින් උණ බැස ගිය ද රෝගය සුවපත් නොවේ. වත්මන් ආණ්ඩුව ත්රස්තවාදයට එරෙහිව යුද ප්‍රකාශ කර ඇත. ත්‍රස්තවාදය යනු රෝග ලක්ෂණයක් විනා රෝග නිධානය නොවේ. රෝගය බෙදුම්වාදයයි. ත්‍රස්තවාදය තුරන් කළ පමණින් බෙදුම්වාදය කෙළවර නොවේ. එහෙයින් ආණ්ඩුව රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කරන තැන සිට රෝග නිධානයට ප්‍රතිකාර කරන තැනකට මාරු විය යුතු ය. එහෙත් ආණ්ඩුව එය අවබෝධ කර ගත් බවක් නොපෙණේ. එහෙයින් දැන් ආණ්ඩුව කරන්නේ රෝග ලක්ෂණවලට ප්‍රතිකාර කරන අතර රෝග නිධානයට රිසි සේ වැඩෙන්නට පරිසරය සකසා දීමයි.
(ශිලා ලේඛන මූලාශ්‍රය_කොත්මලේ අමරවංශ හිමි-1969,ලක්දිව සෙල් ලිපි)
2008-01-24
ජේවීපී ප්රශ්නය

ඇමරිකාව යනු මානව අයිතිවාසිකම්වලට ගරු කරන
නිදහස් මත ඉවසන රාජ්‍යයකි. නිදහස් මාධ්‍ය සඳහා
ද එහි කිසිදු බාධාවක් නැත. එහෙයින් ඔවුනට
ගැටළු ඇත්තේ සිය රටේ නොව අප වැනි රටවල ය.
ඉහත කී අයිතිවාසිකම් නොලැබීම නිසා ශ්‍රී ලංකාව
වැනි රටවල මිනිසුන් විඳින දුක පතළ මහා
කරුණාවෙන් ලොව දෙස බලන ඇමරිකානුවන්ට
පෙනේ. ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්
සැකසී ඇත්තේ ඒ ජන දුක නිවීමට ය.
1959 සිට කියුබාවේ ෆිදෙල් ක්‍රැස්තෝ මරා දැමීමට
මර උගුල් අටවන්නේ ද ඉරාකයේ සදාම් හුසේන් මරා
දැමුවේ ද උතුරු කොරියාව කිම් ජොන් ඉල්ගෙන් සහ
ඉරානය මොහොමඩ් අහමඩ් නිජාඩ්ගෙන් මුදවා ගන්නට
වළිකන්නේ ද ඒ රටවල මිනිසුන්ගේ දුක් ගිනි නිවීමට
ය. ඇමරිකාව ඉරාකය ආක්‍රමණය කළේ සහ ඉරානයට
කෙළ හලන්නේ තෙල් සම්පත කොල්ල කෑමට යයි මේ
රටේ ජීවත් වන ළිං මැඩියන් පවසනු ඇත. කියුබාව සහ
උ. කොරියාව විනාශ කරන්නට තතනන්නේ ඒවා
කොමියුනිස්ට් රාජ්‍ය නිසා යයි මොවුන් පවසන්නේ
ඇමරිකන් විරෝධය නිසා ය. කොටින් ම ඇමරිකාවට
ඉරිසියා කරන නිසා ය. ඇමරිකාව මෙරට ත්‍රිකුණාමල
වරාය, ජල සම්පත සහ තෙල් සම්පත වෙත ද ලොබ
බැඳ ඇතැයි පවසන කතා කෙතරම් විහිළු දැයි එවිපයේ
(එක්සත් විජාතික පක්ෂයේ) මන්ත්‍රි කෙනෙකුගෙන්
වුව දැන ගත හැකි ය.එහෙයින් අපගේ ගැළවුම්කාරයා
ද විමුක්තිදායකයා ද ඇමරිකාව බව තරයේ සිහි
කටයුතු ය.
එහෙව් රටේ තානාපති රොබට් ඕ. බ්ලේක් මහතා
දැනට මසකට පමණ උඩදී විශේෂ ආරාධනයක් ලැබුවේ
ය. ඒ කොළඹ විශ්වවිද්‍යාලයේ දේශනයක්
පැවැත්වීමට ය. මාතෘකාව "ඇමරිකන් විදේශ
ප්‍රතිපත්තිය" ය. මේ මහාර්ඝ දේශනයට සවන් දීම
සඳහා 5000ක් පමණ සිසුන් අතරින් 50ක පමණ
විශාල පිරිසක් සහභාගී වූයෙන් දේශන ශාලාව අතුරු
සිදුරු නැතිව පිරී ගියේ ය.
දේශනය අවසන පැමිණියේ දේශකයාගෙන් ප්‍රශ්න
විමසීමේ වාරයයි. නැගී සිටි එක් ශිෂ්‍යයෙක් සිය
ප්රශ්නය විමසා සිටියේ ය.
"ඇමරිකාව වියට්නාමය ආක්‍රමණය කිරීම ගැන
ඔබට මොනවද කියන්න තියෙන්නේ?"
අනපේක්ෂිත ප්‍රශ්නයෙන් කලබල වූ තානාපතිතුමා,
"ඕක ජේවිපී ප්‍රශ්නයක්" යයි පවසා නිහඬ විය.
ඒ අතර නැඟී සිටි තවත් ශිෂ්‍යයෙක්,
"එතකොට ඉරාක ආක්‍රමණය ගැන ඔබට මොනවද
කියන්න තියෙන්නේ?"යි විමසුවේ ය.
කබලෙන් ළිපට වැටුණු තානාපතිතුමා,
"ඒකත් ජේවිපී ප්‍රශ්නයක්" යයි පවසා සුපුරුදු පරිදි
ලිස්සා ගියේ ය.
තානාපතිතුමාගේ පිළිතුරින් කළකිරුණු සභාවේ සිටි
සිසුන් අතරින් 40ක් පමණ පිටතට ගියේ ය.
ඉතිරිවී සිටි සිසුන් අතරින් එකෙක් නැගිට,
"එතකොට අර 'ආර්ථික ඝාතකයකුගේ ලෝකය'
කියන පොත ලියපු ඇමරිකාවේ ජෝන් පාකින්ස්
ගැන මොකද කියන්න තියෙන්නේ" යයි විමසුවේ ය.
ඒ සමඟ ම නැඟී සිටි තවත් තවත් ශිෂ්‍යයෙක්,
"ඕක ඉතින් අහන්න දෙයන් ද මෙයා කියාවි ජෝන්
පාකින්ස් කියන්නෙත් ජේවිපී කාරයෙක් කියලා. අපි
යමු යන්න. " කියත් ම ඉතිරි සිසුන් ද ඔහු
අනුගමනය කරමින් සභාවෙන් නික්ම ගියේ ඇමරිකාවේ
නිදහස් මතවලට ඇති ඉඩ පෙන්වා දුන් තානාපතිතුමාගේ
මව් පාර්ශවය ද සිහි කරමිණි.
පසු සටහන;
මෙම සිදුවීමෙන් අපට කරුණු කිහිපයක් අවබෝධ
කර ගත හැකි ය. ඇමරිකානුවන් සිතා ඉන්නේ
අප රට ඔවුන්ගේ කොළනියක් කියා ය. කොළනි
වැසියන්ට ස්වාමියා ප්‍රශ්න කිරීමේ අයිතියක් නැත.
ඔවුන්ගේ උද්දච්ච සිතිවිල්ල අපේ නායකයන්ගේ
දාසභාවයේ අනිවාර්ය ප්‍රතිඵලය වේ. ලුවිස් ආබර්ලා
ඩොමිනික් චිල්කොට්ලා අපේ ඔළුවට අත සෝදන්නට
එන්නේ එහෙයිනි.නිදහසින් පසු මේ රටේ බිහි වූ
දීන නායකයෝ ඉබොහෝ ය. ඒ ගැතිකමින්
මිදෙන්නට අපට තව ම බැරිවීම ඛේදයකි. නිදහස
සමරන්නට ඉන්දිය නායකයාට ආරාධනා කරන්නේ
එහෙයිනි. එහෙත් ඉන්දියාව තවත් රටක නායකයකු
කැඳවා නිදහස සැමරූ බවක් මට නම්
මතක නැත.
2008-01-11
තිස්ස තිස්ස ෆෙඩරල් හැර යමක් තිබේ ද?

උතුරු නැගෙනහිර අර්බුදයට විසදුම් සෙවීමට පිහිටවූ සර්ව පාක්ෂික සමුළු යෝජනාවලිය ජනවාරි 23 දා ඉදිරිපත් කිරීමට නියමිතය. එහි සභාපති මහැදුරු තිස්ස විතාරණ මහතා ය. එතුමා නිතර දෙවේලේ පෙඩරල් ගැන කතා කරන අයෙකි. මාක්ස්වාදයට බර අයෙකි. ජාතීන්ගේ ස්වයං නිර්ණ අයිතිය පිළිගැනීම එහි ප්‍රධාන සිද්ධාන්තයකි. එය මාක්ස්වාදය බිහි වූ සමාජ දේශපාලන පසුබිම මත තබා විග්රහ කළ යුතු සහ යාවත්කාලීන කළ යුතු සිද්ධාන්තයක් බව මගේ හැඟීමයි. කෙසේ වුව ද අපේ රටේ එවන් නිර්මාණාත්මක මාක්ස්වාදීන් බිහි වූයේ නැත. ඊලාම්වාදීන්ගේ ඊනියා නිජ බිම් සංකල්පයට මෙරට මාක්ස්වාදීන් ආවඩන්නේ ඒ නිසා ය. ප්‍රතිඵලය ලෙස මාක්ස්වාදය දෙස වපර ඇහින් බැලීමට ජනතාව හුරු වී ඇත. මාක්ස්වාදය යනු පහුරක් පමණි.ගඟින් එතෙර වී එය කරේ තබා ගෙන යා යුතු නැත. එය දේවභාෂිතයක් ද නොවේ. දේව භාෂිතයක් වුව ද නොවිමසා පිළිගැනීම බෞද්ධයන්ට තරම් නොවේ.
23 දා එළිදකින යෝජනාවලිය කවරාකාරදැයි අප දන්නේ නැත. එහෙත් පසුගිය ජනාධිපතිවරණයේ දි ෆෙඩරල් සංකල්පය වෙනුවෙන් පෙනී සිටි රනිල් වික්‍රමසිංහ මහතා පරාජය විය. ඒකීය ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණ කළේ ය. එහෙයින් නව යෝජනාවලිය ඒකීය රාජ්‍යය මත පදනම් විය යුතු ය. විශේෂයෙන් ම 13 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝදනයෙන් පිහිටවූ පළාත් සභා ඉක්ම යන කිසිදු බල බෙදීමකට නොයා යුතු ය. කළ යුත්තේ උතුරු නැගෙනහිර පලාත් සභා සක්‍රීය කිරීමයි. ඒ සඳහා වන්නි කැලයේ සැඟව සිටින කොටි රැළ විනාශ කළ යුතු ය. විසෙන් විස නැසිය යුතු ය. එවිට සිංහල දෙමළ මුස්ලිම් සැමට නිදහසේ ජීවත් විය හැකි ය.
අද ද්‍රවිඩ ජනතාව මුහුණ දෙන අතිබහුතරයක් ප්‍රශ්න ද්‍රවිඩ ජාතිවායේ සහ ත්රස්තවාදයේ ප්‍රතිඵල ය. ඉතිරිය ධනවාදී සමාජ ක්‍රමය නිසා සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා පොදුවේ මුහුණ දෙන ප්‍රශ්න ය.
දැන් ෆෙඩරල් වෙනුවෙන් එජාපයවත් පෙනී සිටින්නේ නැත. එය හොද තත්ත්වයකි. ජනමතයට හිස නැමීමකි.
මෙරට සිටින ෆෙඩරල්වාදීන් නොකීවාට සන්ධීය හෙවත් ෆෙඩරල් යනු බෙදී තිබෙන ප්‍රදේශ එක් කරන ක්රමයකි. සියලු සන්ධීය රාජ්‍ය බිහි වූයේ එසේ ය. එසේ නොවන එක ම රට බෙල්ජියම ය. එහෙත් එහි අනාගතය අවිනිශ්චිත ය.
උතුරු නැගෙනහිර ද්‍රවිඩ නිජ බිම් සංකල්පය මහා කෙප්පයකි. විහිළුවකි. මිත්‍යාවකි. මහාචාර්ය කේ.එම්. ද සිල්වා ආචාර්ය ශිරාන් දැරණියගල යන විද්වත්හු එහි පවතින මිත්‍යාව මැනවින් හෙළි කර ඇත.
කෙසේ වුව ද අපට කීමට ඇත්තේ යෝජනාවලිය මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය මත පදනම් විය යුතු බව ය. මේ රජය බලයට පත් කළේ ජනතාව ය. ජනතාව ඡන්දය දුන්නේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්රකාශනය ක්‍රියාත්මක කිරීමට ය. රජයේ වඟකීම වන්නේ ජනතා අපේක්ෂා මුදුන් පමුණුවාලීම ය.එසේ නැතිව ජාත්‍යන්තර ප්‍රජාව සුරත්ල් කිරීම හෝ ඊලාම්වාදීන් සන්තර්පණය කිරීම නොවේ. රනිල් මහතාට 2002 හකුළා ගෙන යාමට සිදු වූයේ ඔවුන් කළේ දෙවැන්න නිසා ය. ඔහු වැඩ කළේ ජනතා පරමාධිපත්‍යයට යටත් ව නොව ජාත්‍යන්තර ප්‍රජා ආධිපත්‍යයට යටත්ව ය.
ඒ සඳහා අවැසි ඉඩ හසර විරෝධාර සෙබළ සොහොයුරන් ජයග්‍රහණය කර දී ඇති බව ඉහත සිතියම්වලින් සුපැහැදිළි වනු ඇත.
2008-01-04
බිම තබන්න බොන ජය පැන් !!!

1815 අත්සන් කළ උඩරට
ගිවිසුමට පසු මෙරට
නායකයකු විසින් අත්සන්
කළ රටට අහිතකර ම
ගිවිසුමින් ඉවත් වීමට ලංකා
රජය ගත් තීන්දුවට හිස නමා
ආචාර කරමි.මේ වැදගත්
තීන්දුව ගත යුතු ව තිබුණේ
මීට බොහෝ කලකට පෙර
බව මගේ විශ්වාසයයි.2002
පෙබරවාරි 22 අත්සන් කළ
මේ ගිවිසුම නිසා අපේ රටට
අහිමි වූ දේ බොහෝ ය.
LTTEට හිමි වූ දේ බොහෝ
ය.
විස්තර www.divaina.com
රජය ගත් මේ තීරණය නිසා දෙස් විදෙස් සාම ව්‍යාපාරික මහතුන්
මුසුප්පු වනු ඇත.(නිතර අවි ආයුධ වෙළෙන්දන් ගැන මේ අය
දොඩමළු වෙති.) ඕනෑම මුදලාලි කෙනෙක් සිය ලාභදායි ව්‍යාපාරය
කඩා වැටෙනවාට අකමැති බැවින් ඒ ගැන පුදුම විය යුතු නැත.
ඇමරිකන් ජනාධිපති ජෝර්ජ් බුෂ් මහතා මෑතදී ප්‍රකාශ කළේ
සටන් විරාම ගිවිසුම නිසා දිගු කලක් ස්වාධීනව කටයුතු කළ
කොසෝවෝ ප්‍රදේශය වෙන ම රටක් ලෙස තමන්
පිළිගන්නා බව සහ එක්සත් ජාතීන් ඊට අනුමැතිය නොදීම
ප්‍රශ්නයක් නොවන බව ය. බොහෝ විට යුරෝපා හවුල ද
ඊට එකඟ වනු ඇත. බලවත් රටවල් දුප්පත් රටවල් කුඩා
කැබලිවලට කඩමින් බෙලහීන කරමින් ඒ රටවල සම්පත්
කොල්ල කෑම සඳහා සටන් විරාම සාම ගිවිසුම් ආදී සියලු
උපකරණ භාවිත කරන අයුරු අපට දැන්වත් අවබෝධ විය
යුතු ය.සටන් විරාම ගිවිසුම හරහා අපේ රට ද ක්‍රමයෙන්
බෙදුම්වාදය කරා තල්ලු වූ ආකාරය මෙමගින් මැනවින්
තහවුරු වේ. මේ අනතුර මුලින් ම දැක මව් බිමේ ඒකීයභාවය
වෙනුවෙන් හඬ නැඟූ සියලු දේශප්‍රේමී බලවේගවලට
ජාතියේ ප්‍රණාමය හිමි විය යුතු ය.
කෙසේ වුව ද මේ ඊනියා ගිවිසුම නිෂ්ක්‍රිය වන්නේ ලබන 16 වන
දාට ය. අප දැන් ගත කරන මොහොත අතිශයින් ම තීරණාත්මක
වනු ඇත. විවිධ බලවේග ආධාර සම්බාධක ආදී නොයෙක්
බිල්ලන් පෙන්වමින් සටන් විරාම තොණ්ඩුවට යළි ගෙල දමා
ගන්නැයි ආණ්ඩුවට බල කරනු ඇත. එහෙයින් මේ ගත වන්නේ
අප වඩාත් අවදියෙන් සිටිය යුතු කාලයයි.අවශ්‍ය විට ආණ්ඩුවට
ශක්තියක් විය යුතු මොහොතයි. ජය පැන් පානය මදකට කල්
තබන්න. රටට සැබවින් ම ජය පැන් පානය කළ හැක්කේ
LTTEය මෙරට තහනම් සංවිධානයක් කළ දවසට ය. එවිට
නැවත මෙවැනි මහා පාවා දීමේ ගිවිසුම් මර උගුල් ඇටවීමට
කිසිවෙකුට නොහැකි ය. රජය අභීත ලෙස ඉදිරියට තැබූ මේ
පියවර LTTE තහනම දක්වා ඉදිරියට ගෙන යාමට යෝධ
බල යෝධ ශක්තිය ලැබේවායි පතමි. මේ අදහස් ප්‍රකාශය
හුදු LTTE ත්‍රස්ත විරෝදය මත පදනම් වේ. දෙමළ ජනතාව
සහ LTTEය දෙකකි. මගේ සහෝදර දෙමළ ජනතාව
පිරපාහන්ගේ නාසිවාදයෙන් ගලවා ගැනීම රජයේ පරම
යුතුකම ය. මගේ අදහස් මත යමෙක් ජාතිවාදී හංවඩුව
තැබීමට සුදානම් වේ නම් ඒ අයට අනුකම්පා කරනු විනා
කළ යුත්තක් නැත. අවසන් වශයෙන් මහේශ්වරන්
මහතාගේ දේශපාලන මතවාද සමග අපට එකඟ
වීමට නොහැකි වුව ද ඔහුට යම් මතයක් දැරීමට සහ ඒ
වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී ප්‍රවාහය තුළ පෙනී
සිටීමට තිබුණු අයිතියට ගරු කරන බව ද ඔහුගේ
ජීවිතය උදුරා ගත් ම්ලේච්ඡ ත්‍රස්තවාදය පිළිකුලින්
යුතු ව හෙළා දකින බව ද ලියා තබමි. .
2008-01-02
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්

ගෙවී ගිය වසරේ අවසන් දින කිහිපයේ අප අතර වඩාත් කතා බහට ලක්වූයේ ද මාධ්‍යයන්හි පුවත් මවන්නා වූයේ ද ආචාර්ය මර්වින් සිල්වා මහතා ය. ජාතික රූපවාහිනි පරිශ්‍රයට ගිය ඔහුට මුහුණදීමට සිදුවූ අකරතැබ්බය සජීවීව නැරඹීමේ අවස්ථාව සැමට ලැබිණි. මේ සිදුවීමේදී ආචාර්ය සිල්වාට අනුකම්පා කළ අයෙක් මට තව ම හමු වූයේ නැත. සියලු දෙනා එකසේ සතුටු වූහ. ඔහුගේ සහ පුතුගේ නොමනා ක්‍රියාකාරකම් සහ ඒවාට එරෙහිව විධිමත් නීතිමය පියවර නොගැනීම ඊට හේතුවූවා නිසැක ය. එහෙත් දශක කිහිපයකට පෙර මහ මග මිය ගිය බල්ලකු දුටුව ද "අනේ අපොයි!" කී ජාතියකට
අයත් අපට වත්මන් තත්ත්වය පිළිබද සතුටු විය හැකි ද? මට
සිතෙන්නේ මේ වූකලී දිගු කාලීන දුෂ්ට චක්රයක උච්ච අවස්ථාවක් බව ය.
1988_90 කාලය මෙරට ප්රජාතන්ත්රවාදය අන්තයට පිරිහුණු යුගයකි.එහෙත් එකල පාලකයා විවේචනය කිරීම සියතින් ගෙලට ටයරයක් දමාගෙන වෙඩි තබා ගැනීමක් විය. එහෙයින් මිනිස්සු සියලු අතවර නිහඬව ඉවසූහ. මේ අතර එක්තරා මානසික රෝගියෙක් (රළු ලෙස කිවහොත් පිස්සෙක්)
පිටකොටුව ප්රදේශයේපදික පදික වේදිකාවේ සිට පාලකයාට බැණ
වදින්නට විය. දවස පුරා නොනවත්වා සිදුවූ මේ බැණ වැදීම
මිනිස්සු සිය පීඩනය පිට කිරීමට යොදා ගත්හ. තමන් යන
එන ගමන මොහොතකට අමතක කළ ඔවුහු එම බැණ වැදීම්
අසා සිට යම් මුදලක් ද පිස්සාට දෙන්නට පුරුදු වූහ.එමගින්
සිය පීඩනය මදකට සංසිඳුවා ගත්හ. ඊට පසු කාලයේ දී
සොරෙක් මංකොල්ලකාරයෙක් ස්ත්‍රී දූෂකයෙක් හසුවූ විට
පොලිසියට භාර දෙන්නට ප්‍රථම ගස් බැද පහර දෙන්නට
සහ අතක් පයක් කඩා දමන්නට මිනිස්සු පුරුදු වූහ. මගියෙක් යට
කර ගෙන ගිය බසයට ගිනි තැබීමට ද රියදුරාගේ ඉල ඇට බිදීමට
ද ජනතාව ඉතා ම ඕනෑකමින් දායක වූහ. මේ ක්‍රියාවලියේ ඊළඟ
අවස්ථාව ජාතික රූපවාහිනී ඛේදවාචකයයි. මේ සිදුවීම් දාමය
එකිනෙකට බැදී පවති. සියල්ලෙන් පැහැදිළි වන්නේ එක් දෙයක්
පමණි. ඒ මෙරට නීතියේ ස්වාධිපත්‍යය සහ ස්වාධීනත්වය ඉතා ම
බරපතළ ලෙස ගිළිහී ඇති බවය. ස්වාධීනව පැවතිය යුතු අධිකරණය
විවිධ දේශපාලන බලපෑම්වලට ලක්ව ඇති බවය. එවිට අධිකරණයෙන්
කෙනෙකුට සාධාරණයක් ඉටු වන්නේදැයි ජනතාව තුළ සැක සංකා
උපදී. ඉතිහාසය පුරා ඒ සැකය නිවැරදි බව සනාථ කළ වාර
අනන්තය. මුදල, දේශපාලන බලපුළුවන්කාරකම් විසින් අහිංසකයන්
දඟගෙයි ලා චූදිතයන් පාර්ලිමේන්තුවට කැඳවා ගෙන පැමිණ ඇත.
මේ නිසා ජනතාව දැන් නීතිය අතට ගෙන ඇත. වැරදිකරුවන්ට
දඬුවම් ලබාදීමට පුරුදුවී ඇත. මෙය කැළැ නීතියයි. අවනීතියයි.
නීතියේ ආධිපත්‍යය නොමැති රටක රජයන්නේ කැළැ නීතියයි.
ඒ ගැන අපට සතුටු විය හැකි ද? සතුටු විය යුතු ද? මේ තත්ත්වයට
අපේ රට පත් කළේ ඔබ සහ මා විසින් ඡන්දයෙන් පාර්ලිමේන්තුවට
තෝරා පත්කළ පාලකයන්ය. අප ඔවුන් පත් කළේ රට සංවර්ධනය
කිරීමට ය. ගෙවී ගිය සැට වසරක් පුරා කරන ලද සංවර්ධනය නම්
කදිමය. 1948 ඇමරිකන් ඩොලරය රුපියල් 4කි. අද 110කි.
50 දශකයේ දිනක් සිංගප්පූරු නායක ලී ක්වාන් යූ බ්‍රිතාන්‍යයට
යන අතර පැය කිහිපයකට ලංකා ගුවන් තොටුපළේ රැදී සිටියේ ය.
විශේෂ අමුත්තන්ගේ පොතේ සටහනක් තබමින් ඔහු පැවසුවේ
තමන්ගේ රට දිනයක ශ්‍රී ලංකාවක් කරන බවය. එහි අරුත
සිංගප්පූරුව ද ලංකාව වැනි දියුණු රටක් කරන බවය. අද සිංගප්පූරු
වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 35 000කි. අපේ රටේ
ඇ.ඩො. 2 000ටත් අඩුය. ලී ක්වාන් යූ නීතියට ගරු කළ
දේශප්‍රේමී නායකයෙකි. ඔහු වරදක් කළ සිය සොහොයුරා වෙඩි
තබා මරන්නට නියෝග කළේ ය.
එහෙත් අපේ රටට ???
අනේ කූඹින්නේ _ තොපටත් රජෙක් ඉන්නේ
Subscribe to:
Posts (Atom)
