2008-01-02

කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්


ගෙවී ගිය වසරේ අවසන් දින කිහිපයේ අප අතර වඩාත් කතා බහට ලක්වූයේ ද මාධ්‍යයන්හි පුවත් මවන්නා වූයේ ද ආචාර්ය මර්වින් සිල්වා මහතා ය. ජාතික රූපවාහිනි පරිශ්‍රයට ගිය ඔහුට මුහුණදීමට සිදුවූ අකරතැබ්බය සජීවීව නැරඹීමේ අවස්ථාව සැමට ලැබිණි. මේ සිදුවීමේදී ආචාර්ය සිල්වාට අනුකම්පා කළ අ‍යෙක් මට තව ම හමු වූයේ නැත. සියලු දෙනා එකසේ සතුටු වූහ. ඔහුගේ සහ පුතුගේ නොමනා ක්‍රියාකාරකම් සහ ඒවාට එරෙහිව විධිමත් නීතිමය පියවර නොගැනීම ඊට හේතුවූවා නිසැක ය. එහෙත් දශක කිහිපයකට පෙර මහ මග මිය ගිය බල්ලකු දුටුව ද "අනේ අපොයි!" කී ජාතියකට
අයත් අපට වත්මන් තත්ත්වය පිළිබද සතුටු විය හැකි ද? මට
සිතෙන්නේ මේ වූකලී දිගු කාලීන දුෂ්ට චක්‍රයක උච්ච අවස්ථාවක් බව ය.
1988_90 කාලය මෙරට ප්‍රජාතන්ත්‍රවාදය අන්තයට පිරිහුණු යුගයකි.එහෙත් එකල පාලකයා විවේචනය කිරීම සියතින් ගෙලට ටයරයක් දමාගෙන වෙඩි තබා ගැනීමක් විය. එහෙයින් මිනිස්සු සියලු අතවර නිහඬව ඉවසූහ. මේ අතර එක්තරා මානසික රෝගියෙක් (රළු ලෙස කිවහොත් පිස්සෙක්)
පිටකොටුව ප්‍රදේශයේපදික පදික වේදිකාවේ සිට පාලකයාට බැණ
වදින්නට විය. දවස පුරා නොනවත්වා සිදුවූ මේ බැණ වැදීම
මිනිස්සු සිය පීඩනය පිට කිරීමට යොදා ගත්හ. තමන් යන
එන ගමන මොහොතකට අමතක කළ ඔවුහු එම බැණ වැදීම්
අසා සිට යම් මුදලක් ද පිස්සාට දෙන්නට පුරුදු වූහ.එමගින්
සිය පීඩනය මදකට සංසිඳුවා ගත්හ. ඊට පසු කාලයේ දී
සොරෙක් මංකොල්ලකාරයෙක් ස්ත්‍රී දූෂකයෙක් හසුවූ විට
පොලිසියට භාර දෙන්නට ප්‍රථම ගස් බැද පහර දෙන්නට
සහ අතක් පයක් කඩා දමන්නට මිනිස්සු පුරුදු වූහ. මගියෙක් යට
කර ගෙන ගිය බසයට ගිනි තැබීමට ද රියදුරාගේ ඉල ඇට බිදීමට
ද ජනතාව ඉතා ම ඕනෑකමින් දායක වූහ. මේ ක්‍රියාවලියේ ඊළඟ
අවස්ථාව ජාතික රූපවාහිනී ඛේදවාචකයයි. මේ සිදුවීම් දාමය
එකිනෙකට බැදී පවති. සියල්ලෙන් පැහැදිළි වන්නේ එක් දෙයක්
පමණි. ඒ මෙරට නීතියේ ස්වාධිපත්‍යය සහ ස්වාධීනත්වය ඉතා ම
බරපතළ ලෙස ගිළිහී ඇති බවය. ස්වාධීනව පැවතිය යුතු අධිකරණය
විවිධ දේශපාලන බලපෑම්වලට ලක්ව ඇති බවය. එවිට අධිකරණයෙන්
කෙනෙකුට සාධාරණයක් ඉටු වන්නේදැයි ජනතාව තුළ සැක සංකා
උපදී. ඉතිහාසය පුරා ඒ සැකය නිවැරදි බව සනාථ කළ වාර
අනන්තය. මුදල, දේශපාලන බලපුළුවන්කාරකම් විසින් අහිංසකයන්
දඟගෙයි ලා චූදිතයන් පාර්ලිමේන්තුවට කැඳවා ගෙන පැමිණ ඇත.
මේ නිසා ජනතාව දැන් නීතිය අතට ගෙන ඇත. වැරදිකරුවන්ට
දඬුවම් ලබාදීමට පුරුදුවී ඇත. මෙය කැළැ නීතියයි. අවනීතියයි.
නීතියේ ආධිපත්‍යය නොමැති රටක රජයන්නේ කැළැ නීතියයි.
ඒ ගැන අපට සතුටු විය හැකි ද? සතුටු විය යුතු ද? මේ තත්ත්වයට
අපේ රට පත් කළේ ඔබ සහ මා විසින් ඡන්දයෙන් පාර්ලිමේන්තුවට
තෝරා පත්කළ පාලකයන්ය. අප ඔවුන් පත් කළේ රට සංවර්ධනය
කිරීමට ය. ගෙවී ගිය සැට වසරක් පුරා කරන ලද සංවර්ධනය නම්
කදිමය. 1948 ඇමරිකන් ඩොලරය රුපියල් 4කි. අද 110කි.
50 දශකයේ දිනක් සිංගප්පූරු නායක ලී ක්වාන් යූ බ්‍රිතාන්‍යයට
යන අතර පැය කිහිපයකට ලංකා ගුවන් තොටුපළේ රැදී සිටියේ ය.
විශේෂ අමුත්තන්ගේ පොතේ සටහනක් තබමින් ඔහු පැවසුවේ
තමන්ගේ රට දිනයක ශ්‍රී ලංකාවක් කරන බවය. එහි අරුත
සිංගප්පූරුව ද ලංකාව වැනි දියුණු රටක් කරන බවය. අද සිංගප්පූරු
වාර්ෂික ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 35 000කි. අපේ රටේ
ඇ.ඩො. 2 000ටත් අඩුය. ලී ක්වාන් යූ නීතියට ගරු කළ
දේශප්‍රේමී නායකයෙකි. ඔහු වරදක් කළ සිය සොහොයුරා වෙඩි
තබා මරන්නට නියෝග කළේ ය.
එහෙත් අපේ රටට ???
අනේ කූඹින්නේ _ තොපටත් රජෙක් ඉන්නේ

3 comments:

Dulip's Thoughts said...

dear namal,
thank you very much for the excellent exposition of this recent incident. yes!! you are quite right, sri lankans used to be not like this, but this is a result of the vicious circle which has been in existence since late '70s (precisely soon after the introduction of so called "open" economy!!!). in fact, i felt very sorry about our country when i watched this incident over the internet, as this is not a personal issue of minister mervin silva but a big TRAGEDY of the whole country!!!!
-dulip

නාමල් උඩලමත්ත said...
This comment has been removed by the author.
නාමල් උඩලමත්ත said...

හිතවත් දුලිප් අයියාට,
බොහෝ වැඩ කටයුතු අතර සංහිඳට ඇවිත් පළ කළ විචාරශීලි අදහස්වලට ස්තුතියි. අයිය කියන කතාව හරියට ම හරි.මේක එක් පුද්ගලික කාරණාවක් නෙවේ.විවෘත ආර්ථිකයේ එක් අදුරු පැත්තක්.ආචාර්ය සිල්වා එහි සංකේතයක් නැත්නම් දරුවෙක් විතරයි.රටේ ප්‍රධාන පක්ෂ දෙක තමයි එයාගේ දෙමව්පියෝ.මට හිතෙන්නේ අපි හේතුව ඉවත් නොකර ඵලයට පහරදීලා වැඩක් නෑ කියලා.මේ සිල්වා අද ඉවත් කළත් මීට වඩා නරක අය හෙට බිහිවෙයි.එතකොට අපිට හිතෙයි මර්වින් සිල්වා කොතරම් හොදද? කියලා.බොරුවට සිල්වාට බනින අය මේ ක්‍රමය පවත්වගෙන යන්න දැන හෝ නොදැන උදව් කරනවා කියලා මට හිතෙනවා.මේක සිල්වාගේ වැරැද්දක් නෙමේ.එයා මෙහෙයවපු සමාජ බලවේගවල වරදක්.යහපත් සමාජ බලවේගවල ඇසුර ලැබුණා නම් ඵලදායි කෙනෙක් වෙන්න තිබුණා මර්වින්.වැරදි ලෙස භාවිත කළත් එයාගේ එඩිතර ඍජු බව අගය කළ යුතුයි.වදුරට දැලි පිහිය ලැබුණා වගේ කියලා සිංහල කියමනක් කියෙනවනේ.එතනදි කියවෙන්නේ භාවිතයේ වැරැද්ද ගැන මිසක් දැලි පිහියේ මුවහතේ වැරැද්ද ගැන නෙමේ.