2021-09-28

යොහානි ගීතය සොයා ගැනීම...!

යොහානි ද සිල්වාගේ මැණිකේ මගේ හිතේ පසු ගැයුම අද ඉන්දියාව ඇතුළු ලෝකය පුරා උන්මාදයක් වෙලා. කෝටි ගණනක් ජනතාව ඒ සිංදුවට වශී වෙලා. අද ලෝකයේ ජනප‍්‍රිය ම ගීත 10 අතර මේ ගීතය තියෙනවා.

යොහානිගේ නිල යූටියුබ් ගිණුමෙන් විතරක් මාස තුනක් ඇතුළත මේ සිංදුව මිලියන 119ක නැත්නම් කෝටි 12ක විතර නැරඹුම් වාර ගණනක් වාර්තා වෙනවා. ඉන්දියාවේ ස්ටාර් තරග වේදිකා පමණක් නෙමෙයි ඇමරිකාවේ පදික වේදිකාවත් මේ ගීතය ආක‍්‍රමණය කරලා. එදා බොලිවුඞ් තරු ලංකා වෙදිකාවේ ගැයුවට අද යොහානි බොලිවුඞ් වේදිකාවේ ගයනවා.

නමුත් අපේ නිල ගීත ව්චාරක ගුරුකුල අද මේ ගීතය ගැන විචාර දෙන්න ඉදිරියට එන්නේ නෑ. ඒ ගැන රූපවාහිනි සංවාද නෑ. ප‍්‍රශස්ති වැනුම් නෑ. සමහරු කියනවා ඒ කුහකමට කියලා. ඇත්තට ම හේතුව ඒක ද? මම නම් හිතන්නේ ඒ කතාව වැරදියි.

යොහානිගේ නැගීමත් එක්ක ම මෙතෙක් කල් ලංකාවේ අටුවන් බැහැල තිබ්බ ඊනියා ගීත විචාරයේ මළගම සනිටුහන් වුණා. ඒක තමයි ඇත්තට ම වුණේ. මේක මෙහෙම කිව්වම තේරුම් ගන්න අමාරු බව මම දන්නවා. ඒ නිසා මම ඒක ටිකක් පැහැදිලි කරන්නම්.

ගීතය එහෙම නැත්නම් සිංදුව කියන්නේ සංගීත ප‍්‍රකාශන මාදිලියක් මිස භාෂා – සාහිත්‍ය ප‍්‍රකාශන මාදිලියක් නෙමෙයි. සිංදුව තමයි වඩාත් ජනප‍්‍රිය නැත්නම් චූල සංගීත මාදිලිය. එහි ආත්මය රිද්මයයි. භාෂාවේ සුකොමල වචන ඒ රිද්මය තීව‍්‍ර කරනු මුවහත් කරනු පමණයි.

අවාසනාවට මේ රටේ කවදාවත් ගීත විචාරයක් බිහි වුණේ නෑ. සිද්ධ වුණේ කවියට නැත්නම් පැදියට එතෙක් පැවැති ජනප‍්‍රියතාව ගීතය දිනා ගැනීමත් සමග පද්‍ය විචාරකයන් ගීත විචාරකයන් බවට පත්වීම විතරයි.

මේ පිරිසට කවි විචාරයට උවමනා භාෂා සාහිත්‍ය දැනුම මිස ගීත විචාරකයන් වෙන්න උවමනා සංගීත ඥානය සහ කුසලතාව තිබ්බේ නෑ. ඔවුන් කළේ සිංදුව ගැන පද්‍ය විචාර ලිවීම. උපමා, රූපක, භාෂාලංකාර වැනි පද්‍ය විචාර මිනුම් දඬුවලින් ගීතයට විවරණ සැපයීම. හරියට රාත්තල්වලින් දුර මනිනවා වගේ. මේවා ඇත්තටම ගීත විචාර නෙමෙයි, අංශභාග ගී පදවැල් විචාර.

මේ අංශභාග ගී පද විචාරයේ යම් අඩුවක් හැඟුණ නිසාදෝ ඊඊක්‍ සිංහල සේවයට ගී මිණිආර කළ මහාචාර්ය සුචරිත ගම්ලත් එහි අගට විශාරද ජයන්ත අරවින්දගේ සංගීත විවරණයක් එකතු කළත් සිදුවිය යුතුව තිබුණේ එහි අනික් පැත්ත. එනම් ජයන්ත අරවින්දගේ ගීත විචාරය අගට අවශ්‍ය නම් ගම්ලත්ගේ සාහිත්‍ය විචාරය එකතු කිරීම. ඇත්තට ම ඒකත් උවමනා නෑ.


මේ විකෘති විචාර සම්ප‍්‍රදාය නිසා සිංහල ගීතය භාෂා සාහිත්‍යය පල්ලේ කේඩෑරි වුණා විතරයි. ප‍්‍රබුද්ධ පීචං වාදවලින් සිංහල ගීතය තවත් දුර්වල කළා. ගීතයක රසිකයා රස විඳින්නේ සංගීතය. එහි කර්ණ රසායන වචන පෙළ ඒ සඳහා උදව් කරනවා. එහි සාහිත්‍ය හොයන එක සාහිත්‍ය දැනුම ලබාගත් සුළු පිරිසක් පසුව කරන වැඩක්. නමුත් සිංහල සිංදුව මේ සුළු පිරිසගේ ආධිපත්‍ය යටතේ ඇටකුණා වුණා.

ඒ විචාර අණසකින් මිදුණු සිංහල සිංදුව යොහානිලා අතේ ලෝකය ජයගන්න මට්ටමට යනවා. අපේ රටේ සමස්ත ජනහගනය කෝටි 2කට මදක් වැඩි වුණත් ඒ අතරින් සිංහල 74%ක් විතරයි. නමුත් කෝටි 12කට ආසන්න පිරිසක් යොහානිගේ යූටියුබ් චැනලයෙන් පමණක් මේ ගීතය විඳල තියෙනවා. ඉන් ඔබ්බේ මේ ගීතය රස විඳින පිරිස තවත් කෝටි ගණනක් විය හැකියි. මේ පිරසෙන් 10%ක්වත් සිංහල දන්නවා කියල හිතන්න අමාරුයි. ඒ අය විඳින්නේ මේ ගීතය. වචන නෙමෙයි, සංගීතය. හරියට අපි නොදන්න භාෂාවලින් ගැයෙන හින්දි, දෙමළ, ඉංගිරිසි ආදී ගීත විඳිනවා වගේ. පහුගිය කාලේ ජනප‍්‍රිය වුණ නගු නගූ ගීතය වගේ.

ඒ වගේ ම මේ ගීතයේ පදවැලේ කන්කලූ සුකොමල පද මාලාවක් මිස සාහිත්‍යමය අගයක් නෑ. ගායකයකුට ලියූ පද යොහානි ගැයීමත් සමග එහි පැවැති වාචික අරුත් පවා අහිමි වෙනවා. ඒ අනුව යොහානිගේ ගීතය ලෝකය වැළඳ ගත්තේ එහි සංගීතය, රිද්මය නිසා කියන එක සනාථ වී ඉවරයි. ඒක තමයි ගීතයේ ස්වභාවය.

යොහානිගේ නැඟීම සිංහල සංගීතයට කරන විශාලතම සේවය තමයි සිංහල ගීතයේ අත්පා බැඳ දමා තිබූ ඊනියා ගීත විචාරක විලංගු කඩා විසිකර දැමීම. දැන් සිංහල සංගීතයට දලූ මුල් ලා නැගෙන්න හොඳ බිමක් හැදිලා තියෙනවා.

සෙසු ගීත නිර්මාණකරුවොත් සාහිත්‍ය විචාර විලංගුව පැත්තකට විසිකරල, නියම ගීතය සොයා පාදා ගැනීමට පෙරට ආ යුතුයි. සාහිත්‍ය විචාරකයන් වගේ ම කවීන් ගීතයෙන් ඈත්කර නියම ගීත විචාරය වගේ ම ගී පද රචකයාගේ කාර්යත් අවබෝධ කරගත යුතුයි. යොහානිගෙන් ආලෝකය ලැබ අප නැවත සිංහල ගීතය සොයා ගතහොත් අපට නැවත ජාත්‍යන්තර මට්ටමේ විශිෂ්ට නිර්මාණ ලෝකයට දායාද කරන්න පුළුවන්.

නාමල් උඩලමත්ත

ඉරිදා දිවයින

2021/09/26

2018-03-22

බඩු සහ මාර බඩු!


තෙපුල් ආර - සිව් වැනි දියවර 

සිංහලයා 'බඩු' නම් වදන තනා ගන්නේ සංස්කෘත 'භාණ්ඩ' හෝ දෙමළ භණ්ඩම්නැතහොත් පණ්ඩම්යන වදන් ඇසුරිණි. 'බඩු' බහු වචන නාම පදයයි. එහි ඒක වචනය 'බඩුව'යි. ගැමියෝ කට වහරේ 'බඩ්ඩ' 'බඩ්ඩක්' යනුවෙන් වහරති.

සිංහලයාට බොහෝ බඩු වර්ග තිබේ. ව්‍යංජන හෙවත් මාලු පිනි රසවත් කිරීමට යොදන්නේ 'කුළු බඩු'ය. පෙර මෙන් නො ව අද ගෘහණියෝ ඉවුම් පිහුම් සඳහා 'ඇලුමිනියම් බඩු' භාවිත කරති. 'ඇලුමීනියම් බාජනවල' උයා පිහාගෙන කෑ විට හැදෙන ලෙඩට 'බෙහෙත් බඩු' ඕනෑ වූ විට යන්නේ 'සිංහල බෙහෙත් බඩු' කඩයට ය. සුන්දරත්වය පිණිස පැලඳීමට මිලට ගන්නා'රන් බඩු' අන්තිමට නතර වන්නේ 'උකස් බඩු' කඩවල ය. ඊට පසු රන් බඩු වෙනුවට 'සාප්පු බඩු' හෙවත් 'ඉමිටේෂන් බඩු'පලඳිති. පඩික්කම්, පහන්, ඉලත්තට්ටු වැනි 'පිත්තල බඩු' පැරණි ගෙවල තව ම දක්නට ලැබේ. පිත්තල බඩු නැති නිවෙස්හි පවා ඇඳ පුටු මේස අල්මාරි වැනි'ලී බඩු' තිබේ.

මූදු හුළඟට 'යකඩ බඩු' වහා දිරාපත් වන හෙයින් මිනිස්සු'ප්ලාස්ටික් බඩු' මිලට ගනිති. 'ලී බඩු' වෙනුවට 'ප්ලාස්ටික් බඩුවලින්' ගේ දොර පිරී යෑම දැන් මහා නස්පැත්තියක් බවට පත් ව අවසන් ය. විදුලි බලයෙන් ක්‍රියාත්මක වන්නේ 'විදුලි බඩු'ය. තැන තැන ඇවිදිමින් තොරම්බල් බඩු විකුණන 'මණිබඩුකාරයා' එකල ගම්වල සුලබ දසුනකි.මගතොට යද්දී පොඩි උන් වැඩිහිටියන්ගෙන් ඉල්ලා හඬන්නේ සෙල්ලම් බඩුය. කිසිවෙක් සොරා ගත් දෑ හොර බඩුය. ඕනෑ ම හොර බඩුවක් උසාවියට ගෙන ආ විට නඩු බඩුවකි. පිට රටින් ගෙනෙන්නේ'රට බඩු'ය. සමහරු 'රටේ බඩු' නොව 'රට බඩුම' අගයති.රහමෙර ටිකක් තොල කට ගා ගැනීමට සිතුණු විට ගැමියෝ 'බඩු ටිකක් තිබුණා නම් පංකාදුයි' යැයි තවත් ගැමියෙකුගේ කනට කොඳුරති. වීදුරු බඩුමෙන් ම පිඟන් බඩුද පරිස්සමින් පරිහරණය කළ යුතු ය. මැද පන්තියේ ඇතැම් සිංහල නිවෙස්වල සාලයේ වීදුරු බඩු අල්මාරියක් ප්‍රදර්ශනය පිණිස තබා තිබේ.

ගමේසිල්ලර බඩු කඩවලටඅවශ්‍ය කලමනා රැගෙන එන්නේ නගරයේතොග බඩු කඩවලිනි.වහරෙහි ඇත්තේ සිල්ලර කඩසහ තොග කඩවුවත් ඒවායේ තිබෙන්නේ බඩු ම ය. කඩේ බඩු ගිනි ගණන් බව පවසන ගැමියෝ කීයක් හෝ අඩුවෙන් බඩු ගැනීමට පොළට යති. සිරිපා කරුණා කරන විට සිරිපා මුදුනට බඩු අදින අය සුලබ දසුනකි. පසුගිය දිනවල පාරිභෝගිකයෝ වැට් සහිත බඩු සහ වැට් රහිත බඩු මොනවා දැයි සොයා ගත නොහැකිව සිටියහ. කොළඹ ඇතුළු බොහෝ නගරවල කඩවල බඩු ඇත්තේ කඩ ඇතුළේ නොව පදික වේදිකාවේ ය. පදික වේදිකාව බඩුවලින් පිරී යාම නිසා මගීන් පාර දිගේ ගමන් කිරීම අනතුරු ළඟට කැඳවා ගැනීමකි.

සිංහලයාට ඇතැම් බඩු භාණ්ඩමය. පූජා භාණ්ඩ‘‘සංගීත භාණ්ඩ‘‘ගෘහ භාණ්ඩ‘‘තෑගි භාණ්ඩ‘‘විසිතුරු භාණ්ඩ‘‘උත්සව භාණ්ඩ‘‘කොහු භාණ්ඩ‘ ‘මැටි භාණ්ඩ‘‘සම් භාණ්ඩ‘,‘වේවැල් භාණ්ඩඑවන් බඩු ය. මැටි බඩු‘,‘වේවැල් බඩුලෙස ද යොදන්නේ ඉන් කිහිපයක් පමණි.

වැරැද්ද සමග එය කළ පුද්ගලයා ද හසු වූ විට බඩුත් එක්ක ම හොරු අහුවුණායැයි කියන සිංහලයෝ තමන්ට යම් අසාධාරණ තීන්දුවක් ලැබුණහොත් නඩුත් හාන්දුවන්ගේ, බඩුත් හාන්දුවන්ගේයැයි කියා සිය කෝපය නිවා ගනිති. සිය හතුරෙකුට කරදරයක් වූ විට ඇතැම්හු බඩු පැකට්‘‘බඩු බනිස් හෝ බඩුම තමා යැයි කියා සතුටු වෙති. 'ලාභ බඩුවේ' හිලක් ඇතැයි කීවා ද පරිප්පු වඩේවලට වඩා උළුඳු වඩේ මිල බව කියා ඇතැම්හු සිනාසෙති.භාණ්ඩ ප්‍ර‍වාහනය පිණිස බඩු දුම්රිය භාවිත කරන අතර බඩු නැව් රැගෙන එන දෑ ගබඩා කිරීමට වරායේ නැව් බඩු මධ්‍යස්ථාන ඇත. බඩු පැටවූ ගැල් අදත් ඈත ගම්වල දැකිය හැකි ය.

සිංහලයෝ බඩු බාහිරාදිය සහ බඩු මුට්ටු ගැන ද කතා කරති. අප අතරබඩුගැන දන්නා අය සිටිය ද මුට්ටුගැන දන්නා අය අඩු ය. මුට්ටු යනු මිටිය බවත් එය දෙමළ මුට්ටිහෙවත් මුට්ටු ඇසුරින් බිඳී ආ බවත්  අප සමඟ කීවේ රුහුණු සරසවියේ ධම්මික ජයසිංහයෝ ය.ගැමි තරුණියක තවත් එකියකට මට ඔයාට බඩ්ඩක් කියන්න තියෙනවාකියන්නේ යම් කිසි රහසක් බව අමුතුවෙන් කිව යුතු නැත. ගැමි ගැහැනියක ඕකි හොඳ විදියකට හැදෙන බඩුව යැයි බැණ වදින්නේ විසේකාර තරුණියකටය.

සිංහලයෝ ඇතැම් විට බඩුවලට පණ පිහිටුවති. තරුණයෙක් තවත් තරුණයෙකුට උඹ මාර බඩුවක් හෝ උඹ මාර භාණ්ඩයක්යැයි කියන්නේ ඔහු ඉහත කී වර්ගයේ කිසිම බඩුවක් නිසා නොවේ. තම පෙම්වතිය බඩුවයැයි හඳුන්වන්නේගැහැනු ළමයි කෙළිබඩු යැයි සිතන තරුණයෝ ය.කිසියම් අහේතුවක් නිසා වරදෙහි බැඳුණුගැහැනුන්ට බඩුයැයි ගරහන ඇතැම්හු ගෙදර ඇවිත් ළඳුනේ ළඳුනේ ගීතය අසති.කුළු බඩුව සහ අලි බඩුව යන යෙදුම් මේ අපවහර කදිමට විහිළුවට ලක් කරයි. 'හරි ම බඩු හයක්' යනුවෙන් සුගතපාල ද සිල්වා අපූර්ව නාට්‍යයක් කළා මතක ය.

සිංහලයා මෙම බඩු ඒවායේ ගුණාගුණ අනුව වර්ග කිරීමට ද නොපසු බසියි. එහිදී හොඳ‘, ‘බාල‘,‘ලාභ‘,‘අලුත්‘,‘පරණ‘,‘නියම‘‘සුපිරි,පට්ට  ආදී විශේෂණ මුලින් යෙදීම සිරිතයි. එම ඇතැම් ව්‍යවහාර මෙහි සඳහන් කළහොත්බඩුම තමාය.
නාමල් උඩලමත්ත