2016-04-25

ඓතිහාසික නවකතාව සහ නූතන කාමාලාප

බොහෝ දෙනා ඓතිහාසික නවකතා රස විඳ තිබුණ ද ඓතිහාසික නවකතාව යනු කුමක් දැයි ඔවුන්ගෙන් විමසුවහොත් එය නිර්වචනය කිරීම එතරම් පහසු නැත. World Historical Fiction ග්‍රන්ථ නාමාවලියට පෙරවදනක් සපයන ලින්ඩා ඇඩන්සන් සඳහන් කරන පරිදි කිසියම් නවකතාවක් සඳහා පදනම් වන්නේ එය රචනා වන යුගයට අවම වශයෙන් අවුරුදු විසි පහකට ඈත යුගයක් නම් එය ඓතිහාසික නවකතාවකි. එමෙන් ම නවකතාවක් තත්කාලීන සමාජ අත්දැකීම් පදනම් කර ගෙන රචනා වුව ද කිසියම් කාල පරිච්ඡේදයකට පසු ඊට පදනම් වූ යුගය අතීතය බවට පත් වේ. පසුකාලීන පාඨකයා තම සජීවි අත්දැකීමක් නොවන එම අතීත යුගයට පිවිසෙන්නේ අදාළ කෘතිය ඔස්සේ ය. එවිට එම කෘතිය ඓතිහාසික නවකතාවක් බවට පත් වන බව ලින්ඩා ඇඩන්සන් තව දුරටත් පවසයි.

20 වන සියවසේ මුල් දශකය පදනම් කර ගෙන 1944 ගම්පෙරළිය රචනා විය. ගම්පෙරළිය රචනා වූයේ එය පදනම් වන යුගයට අවුරුදු 30කට පමණ පසුව ය. එමෙන් ම පාඨකයා තමන් අත්දැක නැති එම යුගයට පිවිසෙන්නේ කෘතිය ඔස්සේ ය. එහෙයින් ගම්පෙරළිය ඓතිහාසික නවකතාවකි. මේ අනුව 2009 වසරේ අවසන් කෙරුණු උතුරේ ත්‍රස්ත ගැටුම පදනම් කර ගෙන අද රචනා කෙරෙන නවකතාවක් අනාගත පාඨකයා අත ඓතිහාසික නවකතාවක් බවට පත් වෙයි. මේ නිර්ණායක අනුව සියලු නවකතා කිසියම් ආකාරයකින් කිසියම් අවස්ථාවක ඓතිහාසික නවකතාවක් බවට පත් වෙයි. ග්‍රැහම් හෆ් පවසන්නේ ද දේශපාලන හා සමාජ ඉතිහාසය නිරූපණය වන හෙයින්  සියලු නවකතා ඓතිහාසික නවකතා බව ය. මේ අනුව සියලු නවකතා ඓතිහාසික නවකතා නම් නවකතාවේ ශාඛාවක්, ඓතිහාසික නවකතා යැයි විශේෂයෙන් නාමකරණය කිරීම නිශ්ඵල ක්‍රියාවකි.

එහෙත් 1955 ඓතිහාසික නවකතා (The Historical Novel) නමින් කෘතියක් ලියමින් ඓතිහාසික නවකතා නම් නවකතා වර්ගයක් ජෝර්ජ් ලූකාශ් ලොවට හඳුන්වා දුන්නේ ය. එතැන් සිට ඓතිහාසික නවකතා පිළිබඳ සාහිත්‍ය විචාරකයෝ සංවාද කරන්නට වූහ. ඒ පිළිබඳ රචිත විචාර කෘති සහ ලිපි ලේඛන සිය දහස් ගණනකි. 1997 සිට එක්සත් රාජධානියේ “ඓතිහාසික නවකතා සංගමය” (Historical Novels Society - HNS) නම් ආයතනය ක්‍රියාත්මක වෙයි. ඓතිහාසික නවකතා පිළිබඳ සම්මන්ත්‍රණ සංවිධානය කෙරෙයි. වසරේ හොඳ ම ඓතිහාසික නවකතා සඳහා “වෝල්ටර් ස්කොට් සම්මානය” ඇතුළු සම්මාන පිරිනැමෙයි. මේ අනුව ඓතිහාසික නවකතා යනුවෙන් නවකතාවේ එක් ශාඛාවක් ඇති බව පිළිගැනීමට සිදුවෙයි.

එසේ නම් ඓතිහාසික නවකතාව යනු කුමක් ද? එක්සත් රාජධානියේ ඓතිහාසික නවකතා සංගමය (Historical Novels Society - HNS) පවසන පරිදි යම් සිදුවීම් සමුදායක් සිදු වී අවම වශයෙන් වසර පනහකට පසු එය පදනම් කර ගෙන රචිත නවකතාව හෝ කතුවරයාගේ උපතට පෙර සිදු වූ සිදුවීම් මාලාවක් පිළිබඳ පර්යේෂණාත්මක තොරතුරු මත පදනම් ව රචිත නවකතාව හෝ ඓතිහාසික නවකතාවකි. මෙහි දී ඓතිහාසික නවකතාව ලින්ඩා ඇන්ඩර්සන්ගේ සහ ග්‍රැහැම් හෆ්ගේ අර්ථ දැක්වීම්වලින් ඔබ්බට ගොස් අර්ථ දක්වා තිබේ. එහි දී නිර්ණායකය වී ඇත්තේ කෘතියට පදනම් වූ සිදුවීම් මාලාව පාඨකයාට සාපේක්ෂව අතීතයට අයත් ද යන්න නොව අදාළ සිදුවීම් මාලාව කතුවරයාට සාපෙක්ෂව අතීතයට අයත් ද යන්න ය. මෙම අර්ථ කතනය අනුව ගම්පෙරළිය නවකතාව ඓතිහාසික නවකතාවක් නොවේ. එහෙත් භේරුණ්ඩ පක්ෂියා, ස්වයංජාත සහ මහරජ ගැමුණු ආදිය ඓතිහාසික නවකතා වෙයි. 

කෙසේ වුව ද ඓතිහාසික නවකතාකරුවා සිය කෘතිය පාඨක විශ්වාසය රැකෙන පරිදි පිළිගත හැකි විශ්වසනීය ඉතිහාස දැනුම මත පදනම් විය යුතු ය. විද්වතුන් පෙන්වා දෙන ආකාරයට ඓතිහාසික නවකතාව ඉතිහාසය පිළිබඳ හැඳින්වීමකි; අර්ථකතනයකි. Encyclopedia Britannica විග්‍රහ කරන පරිදි යථාර්ථවාදී සහ විශ්වසනීය ඉතිහාස තොරතුරු මත පදනම් ව කිසියම් අතීත කාල පරිච්ඡේදයක මනුෂ්‍ය ආධ්‍යාත්මය, හැසිරීම සහ සමාජ කොන්දේසි ප්‍රතිනිර්මාණය සඳහා උත්සාහ දරන නවකතාව, ඓතිහාසික නවකතාවයි. වර්තමානයේ බෙහෙවින් සිංහල බසින් ඓතිහාසික නවකතා පන්නයේ නිර්මාණ බිහි වුව ද නිර්මාණකරුවන් ඉහත කරුණු කෙරෙහි අවධානය යොමු කරන බවක් පෙනෙන්නට නැත. ඔවුහු වර්තමාන සමාජයේ තමන් අත්දකින කාමාලාප ප්‍රකාශ කිරීම, සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දීම සහ ජාතික වීරයින්ට නින්දා කිරීම සඳහා ද ඓතිහාසික නවකතාව මෙවලමක් කර ගනිති. මෙවැනි පොත්වලට මාගම්සෝලිය, ලොවිනා සහ ආදරණීය වික්ටෝරියා කදිම උදාහරණ වෙයි. එම කතා නවකතා නොව අතිශය අභව්‍ය, ඉතිහාස විරෝධි, ශිෂ්ටාචාර විරෝධි සිද්ධිවලින් සපිරී නූතන කාමාලාප යැයි පැවසීම වඩා නිවැරදි ය. මේ එක්තරා ආකාරයකින් නවකතා කලාවට මුවා වී රටේ සංස්කෘතිය සහ ඉතිහාසය අමු අමුවේ විකෘති කිරීමකි.

  

1 comment:

jaasynpadro said...

Lucky Numbers | Casino in Oklahoma
Lucky 벳인포해외배당흐름 Numbers are adriodtv.com a special number that 온라인바카라 you 뱃 플릭스 will find at 바카라사이트 casinos worldwide. Read about Lucky Numbers and find out where to play games and information on