2013-08-06

ආදර වස්තුව





අමරකීර්ති විසින් රාජිත දඬුකඳේ ගැසීම .... !!!

මං පෙරේදා රාජිත දිසානායකගේ ආදර වස්තුව බැලුවේ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ. ඒක මංගල දර්ශනය. මං රාජිත පසුගිය කාලේ කළ සියලු නාට්‍ය බැලුවා. ඒ කියන්නේ ‘හංසයින්ටත් මං ආසයි’, ‘මට වෙඩි තියන් නැද්ද’, ‘වීරයා මැරිලා’, ‘සිහින හොරු අරන්’ ‘ආපසු හැරෙන්න බෑ’ සහ ‘බකමූණා වීදි බසී’ වගේ නාට්‍යය. රාජිතගේ පරම්පරාවේ ප්‍රතිභාසම්පන්නතම නාට්‍ය අධ්‍යක්ෂවරයා රාජිත බවට සැකයක් නැහැ. 

ඔහු හැම විට ම අප සමාජය සමඟ ගැටෙන විවිධ සංසිද්ධි ඉතාම අපූර්ව දෘෂ්ටියකින් පේක්ෂකයා හමුවේ තබයි. ඒවා නූතන සමාජ දේශපාලන වපසරිය සමඟ ඓන්ද්‍රීය ලෙස බැඳී තිබේ. නූතන දේශපාලනය සමඟ අප සියලු දෙනාගේ ජීවිත දැඩි ලෙස ගැටගැසී ඇත. දේශපාලකයා පමණක් නොව වෛද්‍යවරයා, නීතිඥයා, කථිකාචාර්යවරයා, විශ්වවිද්‍යාල ශිෂ්‍යයා, ව්‍යාපාරිකයා පමණක් නොව හිඟන්නාගේ ජීවිත පවා දේශපාලනය සමඟ සම්බන්ධය. ඒ සබඳතාවල ඇති රැවටීම්, බොරුවළවල්, නිර්ධයභාවය ඔහු අප හමුවේ තබයි. 

එහෙත් ඔහුගේ මෑතකාලීන නිර්මාණවල යටින් හුයක් ලෙස දිවෙන්නේ ආණ්ඩු විරෝධයයි. මතුපිට කවර සිද්ධි රඟපෑව ද හරය ලෙස ගත් කල්හි එහි ඇත්තේ ආණ්ඩුව කෙරෙහි පවතින ජනතා ආකර්ශනයට පහර ගැසීමය. එය අපහාසයට ලක් කිරීමය. ආණ්ඩුව සමග කටයුතු කිරීම භයානක දෙයක් බව ඇඟවීමය. මීට වසර දෙකකට පමණ නිෂ්පාදනය වූ බකමූණා වීදි බසී නාට්‍යය නිදසුනකට ගනිමු. රාත්‍රියෙහි පාර කියාදුන් බකමූණා දහවල පාර කියාදීමට ද තෝරා ගැනීම යන්නෙහි අරුත යුද්ධයට නායකත්වය දුන් නායකයා නැවත පත්කර ගැනීම භයානක බවය. එය ව්‍යසනයකට මුල බව පෙන්වා දීමය. ඒ සමඟම ආණ්ඩුව සමඟ එක් වූ කලාකරුවන් විවිධ වරදාන ලබන ආකාරය ද ඉතා ළගන්නා ලෙස අප හමුවේ දිග හැරේ. එය දේශපාලන ප්‍රහසනයක් ලෙස එදා මම අගය කළෙමි. (බකමූණා වීදි බසි පිළිබඳ මා ලියූ ලිපිය බලන්න.) 

එහෙත් රාජිත දිසානායක මේ ජනප්‍රිය ආණ්ඩුව විරෝධය අද සිය එදා වේල කර ගෙන තිබේ. මේ නිසා ඔහුගේ නිර්මාණවල මහා ඒකාකාරී එක තැන පල්වෙන තත්ත්වවයට පෙරළෙමින් පවතින බව කිව යුතුය. ඒ විරෝධය හුදු ආණ්ඩු විරෝධයෙන් එහා ගිය ක්‍රම විරෝධයක් ද නොවේ. ඔහුට අවශ්‍ය කරන්නේ ජනතාව ලවා කැහි ගෑණි වෙනුවට හොටු ගෑණි තෝරා ගැනීමට ද? ඉන් එහා ගිය විකල්පයක් කෙරෙහි ජනතා විඥානය යොමු කරන බවක් අපට නම් නොපෙනේ. 

මෙවර ඔහුගේ නාට්‍යයට පසුබිම් වන්නේ පවතින ආණ්ඩුවට සහයෝගය පළ කර අමාත්‍ය උපදේශක තනතුරක් ද ලබන විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකුගේ ජීවිතය ක්‍රමයෙන් උගුලකට හසුවන ආකාරය කියාපෑමය. ඒ සඳහා විවිධ කුමන්ත්‍රණ ක්‍රියාත්මක වේ. පැරණි ආදර සබඳතා, ශිෂ්‍ය අරගල ඔහු උගුලකට හසු කිරීමට මාන බලන දඩයක්කරුවන් වැන්න. ඔහු ඔහුටත් නොදැනීම ආණ්ඩු විරෝධි කුමන්ත්‍රණකරුවෙකු බවට පත්වෙයි. ඒ ඔහු සිය මිතුරාගේ ව්‍යාපෘතියකට සහාය පළ කිරීම නිසාය. එහෙත් ආණ්ඩුව පෙරළීම පිළිබඳ ඔහුට කිසිදු අදහසක් නොතිබිණි. සිය මිතුරා අර අදින්නේ ඒ සඳහා බව ඔහු දැන ගන්නේ අවසාන මොහොතේය. එවිට ඔහු ආපසු හැරිය නොහැකි තරම් දුරක් පැමිණි තිබේ. අවසානයේ ගිරයට හසු වුණු පුවක් ගෙඩියක් බවට පත් වන කථිකාචාර්යවරයා සිය මිතුරාගේ වෙඩි පහරින් මියෙන්නට පෙර මිතුරා නන්නාඳුනන්නෙකුගේ වෙඩි පහර 3න් නිහඬ කෙරේ. ඒ නාඳුනන තුවක්කුකරු පැමිණි කොහෙන්ද? ඔහුගේ ඉලක්කය වූයේ කවුද? කථිකාචාර්යවරයා යැයි වැරදීමකින් ඔහුට වෙඩි තැබුවේද? යනාදි ප්‍රශ්න රාශියක් පේක්ෂකයාට ඉතිරි කර නාට්‍යය කෙළවර වේ. මේ වූ කලී විශිෂ්ට නාට්‍යයක් බවට කිසිදු සැකයක් නැත. අප ඇදබැඳ තබා ගන්නා නාට්‍යමය ගුණය ඒ තුළ පිරී පවතී.

එහෙත් මේ නාට්‍යය තුළින් අප වෙත රැගෙන එන පණිවිඩය කුමක් ද? ඒ අනෙකක් නොව ආණ්ඩුවට සහයවීම ඔබ සියතින්ම ඔබේ ගෙළට තොණ්ඩුව දා ගැනීමකි යන්නය. බුද්ධිමතුන්ගේ දායකත්වය නිසි ලෙස නොලැබීම නිසා නොවෙද නුතන දේශපාලන ක්ෂේත්‍රය පිරිහි ඇත්තේ? පකිස්ථානයේ පාර්ලිමේන්තුවට යාමට උපාධියක් අවශ්‍යය කරන පසුබිමක අපේ පාර්ලිමේන්තුව නූගතුන්ගේ රජදහනක් වූයේ ඇයි? (උපාධි ලබා ගත් පමණින් කිසිවෙකු බුද්ධිමතෙකු නොවන බව ඇත්තකි.) අද අප මේ පිළිබඳ සිතා බැලිය යුතුය. මේ පවතින දේශපාලන ක්‍රමය වෙනස් කළ හැක්කේ කෙසේද? රාජිතගේ දේශපාලන ප්‍රහසන හරහා ඒ සඳහා එළියක් ලබා නොදෙයි. අනෙක් අතට විවිධ NGO කල්ලිවලට බැඳී රටට එරෙහිව ක්‍රියා කරන බුද්ධිමත් වෘත්තිකයින් ඔහුට විෂය නොවන්නේ ඇයි? ඔවුන් කරමින් සිටින දේ නිවැරදිද? ආණ්ඩුවේ දුර්වලතා විවේචනය කිරීමට විපක්ෂයක් නැති සමයක එය කලාකරුවා හෝ කළ යුතු බවට කවර සැකයක් ද? එය ජනප්‍රියවාදී විවේචනයෙන් එහා ගිය විය එකක් විය යුතුය. අප පවතින දේශපාලන ගොහොරුවෙන් ඔසවා තබන එළියක් එහි තිබිය යුතුය. එය කළ හැක්කේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව නූතන දේශපාලන ක්‍රමය තුළ ඇති ජරාජීර්ණ බව කොන්දේසී විරහිතව විවේචනයට ලක් කිරීමෙනි. එසේ නැතිව තමා ද ඇතුලු සිය ගජ මිතුරු කල්ලියේ දේශපාලන ව්‍යාපෘතිවලට සරිලන විවේචනයකින් පොදු පේක්ෂක පලක් නැත. එවන් නිර්මාණ ව්‍යාපෘතිය කෙළවර වත්ම අභාවයට යනු ඇත.


මා රාජිතගේ ඉල්ලා සිටින්නේ මේ ආණ්ඩු විරෝධයෙන් එහා ගිය දැක්මකි. මා නිවැරදි නම් රාජිත රාජ්‍ය මාධ්‍ය ආයතනයක එනම් SLBCහි නිලධාරියෙකි. රජයේ තනතුරක් ද දරමින් ඔහුට මෙවැනි නිර්මාණ කිරීමට ඇති හැකියාව පිළිබඳ, රටේ ‍ නිදහස් අදහස් ප්‍රකාශන අයිතිය නැතැයි කෑගසන කල්ලි කියන්නේ කුමක්ද? මා සිතන විදිහට රාජිත දැන් එක්තරා කල්ලියක් විසින් දඩකඳේ ගසා තිබේ. ඔවුන්ගේ විචාරවලින් අන්ධ වී සිටින රාජිත දැන් හැම විටම මේ ඊනියා විචාරක පිශාචයින්ගේ මනදොළ සපුරන දොළ පිදේනි සිය නිර්මාණවලට එබීම පුරුද්දක් කරගෙන තිබේ. ඔහුට අවශ්‍ය මේ කල්ලියේ සම්මානයට බහුමානයට පාත්‍ර වීමය. එහෙත් රාජිත තුළ සිටින නිර්මාණකරුවා තවමත් ප්‍රතිභාසම්පන්නය. එහෙයින් ඔහු වහා අවදි වී තමන් කොටුවී සිටින බව අවබෝධ කරගත යුතුය. සිය දෙකේ පන්තියේ ආණ්ඩු විරෝධය සහ සිංහල බෞද්ධ විරෝධය නිර්මාණයක දුටු වහා රජතුමාගේ සීතාම්බර සළුව වර්ණා කරන එවුන් සේ ඒ නිර්මාණයේ නැති ගුණ වයා නිර්මාණකරුවා වළ පල්ලට ඇද දමන ලියනගේ අමරකීර්ති එන ඉරිදා රාවයට ආදර වස්තුව ගැන ආතල් කතාවක් ලිවීමට ඉඩකඩ තිබේ. ඒ සිතාම්බර සළු වැනුමට තව දුරටත් හසු වුවහොත් රාජිතට සිදුවන්නේ සැමදාම මේ නිරුවත් රංගනයෙහි නිරත වීමටය.

No comments: