2012-12-06

අප අබියස කැඩපතක් තබන කර්ම ...

ඔන්න ඉතින් මාසේ පඩිය අතට ගත්තා විතරයි, පොත් සාප්පුවල ඇවිදලා අපි ගිය ආත්මවල ඒ අයට වුණු ණය තුරුස් ටික එහෙම බේරලා දාලා, හවස් ජාමෙක රීගල් සිනමාහලට රිංගුවා. වෙන මොකට ද ඉතින් ප්‍රසන්න ජයකොඩිගේ නව සිනමා කෘතිය කර්ම බලන්න. ඒක වැඩිහිටියන්ට පමණයි. මං බයෙන් බයේ සිනමාශාලාවට ගියේ වයස ප්‍රශ්නයක් වේවිද කියලා. කෝ ඉතින් චිත්‍රපටිය ගැන මුකුත් ලියන්න වුණේ නැහැ පහුගිය ටිකේ ම. මගේ යාළුවෝ මාව වෙන වෙන ඒවා ලියන්න පෙළඹෙව්වා නේ.

කර්ම කියන්නේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක් තමා. මේ රටේ ඉන්න ගොඩක් වැඩිහිටි ළමයි. ඒ කියන්නේ වයසින් මිස මනසින් නොවැඩුණු පිරිස. ඒ ළමයි නිකං සල්ලි වියදම් නොකළාට නම් කමක් නැහැ. මොකද මේ වගේ සිනමාවක් තේරුම් ගන්න වැඩිහිටි මනසකුත් අවශ්‍යයයි.

ප්‍රසන්නගේ මේ සිනමාවේ මං දැකපු එක් විශේෂ ලක්ෂණයක් තමා චරිත යටපත් කරගෙන සිනමා ආඛ්‍යානය මතුවීම. තියෙන්නේ චරිත තුනයි. සමස්ත කෘතිය ගෙත්තම් වන්නේ ඒ චරිත වටා. ඒක තුන්කොන් ප්‍රේම කතාවක් කියලා කෙනෙකුට කියන්න පුළුවන්. හැබැයි මට නම් එහෙම හිතුණේ නැහැ.

මම හිතන්නේ නූතන ලාංකික මිනිසා අත්විඳින කටුක ජීවන යථාර්ථය විනිවිදින ලද හොඳ කලා කෘතියක් කර්ම. අපේ සමාජයේ මානව සබඳතා මේ වන විට ඉතාම යාන්ත්‍රික සබඳතා බවට වෙලා ඉවරයි. සිංහල බෞද්ධ සංස්කෘතික පදනම මත ගොඩනැගුණු හෘදයාංගම මානව සබඳතා විකෘති වෙලා. යටත්විජිතවාදය නිසා ගලා ආ වික්ටෝරියානු සුචරිතවාදී වෙස් මුහුණුවලට මුවා වෙලා කුහක සමාජ සබඳතා ජාලයක් දැන් අපි නඩත්තු කරනවා. ඒ කුහකත්වය දැන් අපේ සදාචාරය සංස්කෘතිය බවට පත්වෙලා. 


දැන් අපේ ආදර සබඳතාවලට දෙදෙනාගේ ආධ්‍යාත්මික බැඳීම්වලට වඩා බලපාන්නේ ධනය, බලය, කුලය, රැකියාව, අධ්‍යාපනය වගේ වෙනත් දේවල්. දෙදෙනාගේ ගැලපීම බොහෝ විට එම සාධකවලට සීමා වෙනවා. බොහෝ විවාහ ජීවිතවල ආදරය හැර සියලු භෞතික සබඳතා තියෙනවා. මේ සබඳතා කිසිසේත් ආධ්‍යාත්මික සබඳතා නෙමේ. හුදෙක් කායික සතුට සඳහා ම ඇති වන සබඳතා. පෙර සඳහන් කළ සමාජ තත්ත්වයන් අද ඔහුට හෝ ඇයට නියම ආධ්‍යාත්මික ආදරයක් සොයා යාමට ඇති සියලු මං අහුරා අවසන්. සියලු දෙනාට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ කුල ගෙවල් කියන හිර ගෙවල්වලට රිංගන්න සිද්ධ වෙලා.

මේ සිරගෙවල්වල ඔවුන් සිය ජීවිත විඳිනු වෙනුවට විඳවනවා. ආදරය වෙනුවට දෙදෙනා ළං කරන එකම දෙය රාගය බවට පත් වෙනවා. මේ අතිශය වේදනාකාරි ජීවිත, සිනමාශාලාවෙන් පිට හැම තැනම අපි දකිනවා. අපිත් ඒ ජීවිතවල කොටස්කාරයෝ විදිහට රඟපානවා. මෙන්න මේ කියන මහා සමාජ ඛේදවාචකයට ලක් වුණු දෙදෙනෙකුගේ ජීවිත සිනමා කෘතිය ඔස්සේ අප අබියස දිග හැරෙනවා. ගතානුගතික යාන්ත්‍රික බැඳීම දෙදරා යද්දී ඇය ආදරය හොයනවා. කොහේද ඒ ආදරය තියෙන්නේ? සංගීතඥ  පෙම්වතා ළඟද? සිය මව අහිමි වී හුදෙකලා වන පියල් ළඟ ද? නදී විදිහට නදීක ගුරුගේ ද අමන්දා ලෙස මිශෙල් හර්ෆ්ට් ද පියල් ලෙස ජගත් මනුවර්ණ ද රඟනවා.

මේ වූ කලී සිනමා කෘතිය පිළිබඳ විමසුමක් නොවේ. මගේ සිත නිදහස් කර ගැනීම සඳහා ලියූ අදහස් කිහිපයක්පමණි. කර්ම පිළිබඳ ලිවිය යුතු දෑ බොහෝය. එය විවිධ දෘෂ්ටි කෝණවලින් බලා විමසිය හැකි හොඳ කෘතියකි. නූතන ලාංකිකයා මේ සිනමා කෘතිය බලා තම හෘද සාක්ෂිය විමසා බැලිය යුතු යැයි මම යෝජනා කරමි.

 

2 comments:

සෙන්නා said...

"කර්ම" කරුමයක් වෙන තරමටම සිනමා විචාර කියෙව්වා මේ බ්ලොග් අවකාශෙන්ම..

තරුරසී said...

කර්ම එපා වෙන්න විචාර නම් කියෙව්ව තමයි.. ඒත් කර්ම හරහා නැගුණු මේ නිදහස් අදහස් අ‍පේ ජීවිත ගැනම හිතල බලන්න හරිම වටිනවා... මමත් ටිකකට හිතුවා මගේ බැදීම් ගැන. අපට මේ දෙවර්ගයේම බැදීම් තියෙනවා නේද?. හදවතින්ම ඇති වුණ බැදීම් සහ භෞතික ලෝකයේ අවශ්ය්තා වෙනුවෙන් නඩත්තු කරන බැදීම්... මේ දෙවර්ගයටම අවංකව ඉන්න උත්සාහ කරන්න ඕන.
වැඩිහිටි ළමයි ඉන්න කතාවට මමත් එකගයි.. හැබැයි ඒක අහිංසක දරුවන්ට කරන අවමානයක්ද මන්ද?