2009-08-24

මා දුටු "එකමත් එක රට"

පසුගිය එක් සැඳෑවක මම මිතුරෙකු සමග රීගල් සිනමාහලට රිංගාගතිමි. ඒ සනත් ගුණතිලකගේ ‘එකමත් එක රටක’ සිනමා කාව්‍යයය හා ඒකාත්මිකවීමට ය. එම සිනමා කෘතිය නිර්මාණය වූයේ බටහිර ලේඛකයෙකු වන එමිල් සෝලාගේ කෙටි කතාවක් ඇසුරිණි. එකමත් එක රට ගැන දීර්ඝ විචාරයකට ඉඩහසර නැතත් ලුහුඬින් හෝ යමක් ලිවීම වැදගත් යයි සිතමි. මේ සටහන ඒ වෙනුවෙනි.

එම සිනමා කෘතියට විෂය වූයේ මානව ජීවිතය හා තාදානුබද්ධ සනාතන අගයකින් යුතු පුවතකි. එනම් මානව ප්‍රේමයයි. සදාචාරය නීතිය සම්ප්‍රදාය උස් මිටිකම් ආදිය ප්‍රේමයට බාධා නොවේ. පැරණි රදළ පරපුරක සුන්දර යුවතියකට පෙම් බඳින මිනිසුන් දෙදෙනකු වටා මුළු සිනමා කාව්‍යය ම ගෙත්තම් වී තිබේ. ඉන් තරුණයා රදළ නිවසේ මෙහෙකාරියගේ පුත්‍රයා ය. කුඩා වියේ සිට ළදැරිය සමග එකට වැඩෙන හේ උගෙන නීතිඥයෙකු බවට පත්විය.අනෙකා හදිසි අනතුරකින් ආබාධිතව සේවා ස්ථානයෙන් මරුවක් ගෙනැවිත් රදළ නිවස අසල නිවෙසක හුදෙකලාව වසන මැදිවියේ වුවෙකි. කාලයාගේ ඇවෑමෙන් ඔවුන් අතර ගොඩනැගිල්ලක ගෙන අතිශය සංකීර්ණ සබඳතාව ශෝකාන්තයකින් කෙළවර වෙයි.

නිර්මාණය කෙළවර අප හදවත්හි සුපුස්පිත වූයේ ‘පේමතී ජායතී සෝකෝ’ යන බුදු වදන ය. කාල, දේශ, ජාති, ආගම් ඈ සියලු සීමා මායිම් මකුලු හුය සේ ඉරා විසි කරන සනාතන දහමක් ඇතුළත් නිර්මානයක් සිය සිනමා කාව්‍යය සඳහා පදනම් කරගැනීම අධ්‍යක්ෂවරයාගේ ප්‍රතිභාව මොනවාට ප්‍රකට කරයි. පාර්ලිමන්ට් ජෝක්ස් ආදි රසිකයාට නිගා දෙන නිසරු නිර්මාණ බිහි වන යුගයක මෙවන් නිර්මාණ පහළවීම අනාගත ප්‍රබුද්ධ සිනමාවේ සුබ මං සලකුණු හෙළි වීමකි.
සනත්ගේ කුළුදුල් සිනමා ප්‍රයත්නයේ අප දුටු දුබලතා කිහිපයක් ද වෙයි. ඉන් ප්‍රමුඛ වන්නේ ‘එකමත් රක රටක’ වැඩිහිටියන්ට පමණයි කෘතියක් කළේ ඇයි ද යන්න ය. එහි අන්තර්ගත වැඩිහිටියන්ට පමණයි දර්ශන කිහිපය මූලික කතා තේමාවට කිසිදු හානියක් නොවන සේ අතහැර කෘතිය බිහි කළ හැකි ව තිබිණි. ආලිංගනය යනු රූප රාමු එකින් එක පේක්ෂකයා අබිමුව තැබිය යුත්තක් නොවේ. එවන් අවස්ථා රසිකයාට ඇඟවිය හැකි මාර්ග කෙතරම් තිබේ ද? කෘතියේ අන්තර්ගත වන්නේ ජීවිත පරිඥානය පුළුල් කරන එහි යථාර්ථය පසක් කරවන දුර්ලභ කතා පුවතකි. ඉන් පවුලේ සැමට එකට සිට නැරඹිය හැකි අගනා සිනමාපටයක් කළ හැකිව තිබිණි. එහෙයින් එය රසික පිරිසකට සීමා කිරීමෙන් කර ඇත්තේ හානියකි. මුල් නිර්මාණයට අසාධාරණයකි.

අනෙක් දුර්වලතාව කතා තේමාව මැනවින් දේශීය පසුබිමට අනුවර්තනය කර නොතිබීමයි. රසිකයාට හිතෙන්නේ එම චරිත සිංහලෙන් කතා කළ ද සිංහල මුහුණු තිබුණ ද සිංහලයින් නොවන බව ය. ආබාධිතයෙකුට නොහොඹිනා විහිලු කරන තරුණියක තබා තරුණයෙකු හෝ අපට මෙරටින් සොයා ගැනීම අමාරු ය. එමෙන් ම හමු වූ මුල් දිනයේ ම තරුණයෙකුට තමාට කෑමට පෙර සහ පසු රමණයේ යෙදීමට අවශ්‍ය යැයි තබා එවන් තේමාවක්වත් ගැනවත් කතා කරන තරුණියක අපට සොයා ගත හැකි ද? මෙවන් දේ නිසා රසිකයාට අදාළ චරිතවලට සමීපවීමට අපහසු වෙයි. ඒවා නිෂ්පාදකයාගේ මනසේ උපන් ව්‍යාජ චරිත යයි හැඟෙයි. කෙනෙකුට මෙවන් චරිත අද වන විට අපේ සමාජයෙන් ද දුර්ලභ ලෙස හෝ හමු වෙතැයි තර්ක කළ හැකි වුව ද එහි පසුබිම දශක කිහිපයකට පෙර යුගය නිසා එය ද නිශේධනය වෙයි.

සමස්තයක් ලෙස රංගනය ගැන කතා කළහොත් එය ඉහළ මට්ටමක තිබූ බව නොකියා ම බැරි ය. නිරෝෂා පෙරේරා, රොෂාන් රවින්ද්‍ර නිර්මාණය වෙනුවෙන් සාධාරණය ඉටු කර තිබිණි. එහෙත් කෘතියේ වඩාත් ප්‍රබල සහ නිරූපණය අපහසු චරිතයට පණ පොවන සනත්ගෙන් ඒ චරිතයට ඊට වඩා සාධාරණයක් ඉටු විය යුතුව තිබුණු බව මගේ හැඟීමයි. ඔහු ඇතැම් විට චරිතයට මැනවින් ආවේශ වී නොතිබිණි. මුහුණට සහ ශරීරයට ආරෝපණය කරගත් විකෘති ස්වරූපය විටෙක වෙනස් වෙයි. විටෙක වෙනත් විකෘතියකට මාරු වෙයි. තවත් විටෙක සනත්ගේ ප්‍රකෘති මුහුණ මතුවෙයි. එම චරිතයේ අතිශය සංකීර්ණ බව සහ සනත් මත තිබූ අධ්‍යක්ෂණ බර විරාගයේ අරවින්ද ලෙසින් මතු වූ මහා සිනමා පෞරුෂය අපෙන් සඟවා තැබුවේ ද?

මෙවන් අඩුපාඩු තිබුණ ද එකමත් එක රට වඩා ප්‍රබුද්ධ සිනමාවත් කරා යන ගමනේ කඩඉමක් බව මගේ හැඟීමයි. මෙහි පවතින දුර්වලතා සකසා ගෙන වඩා සුන්දරතර සිනමා කෘතියක් සමග සනත් නැවත කරළියට එනතුරු මම බලා සිටිමි. අවසන් වශයෙන් නගරයෙන් ඉගිලි ගම්දනව් කරා පිය මනින ‘එකමත් එක රටෙක’ සිනමා කාව්‍යය නරඹන්න යැයි සහෘදයින්ට ඇරයුම් කරමි.