2009-07-31

සිංහලයේ න ණ ල ළ වහර

වර්තමානයේ බොහෝ සිංහලයෝ අන්තර්ජාලයේ සිංහලෙන් වැඩ කරති. බ්ලොග් ලියති. පිළිසඳරේ (chat) යෙදෙති. ඉ තැපැල් ගනුදෙනු කරති. Face bookහි ලියති. එය අපට මහත් සතුටකි. කෙසේ වුව ද ඒ සමග ම සිතට යම් දුකක් ද පිවිසෙයි. ඒ බොහෝ දෙනා නිවැරදි සිංහලෙන් නොලියන නිසා ය. අන්තර්ජාලයේ අපට ඇස ගැසෙන බොහෝ සිංහල ලේඛන අක්ෂර වින්‍යාස දෝෂවලින් ද ව්‍යාකරණ දෝෂවලින් ද දූෂිත ය. තවමත් අන්තර්ජාලයේ සිංහලෙන් වැඩ කරන අතිබහුතරය විද්‍යා විෂයන්ගෙන් උසස් අධ්‍යාපනය ලද අය වීම එයට හේතුව ද? එසේ වී යැයි අපට නිහඩව සිටිය හැකි ද? ඔවුන් විද්‍යා විෂයන් හැදෑරීමට පිවිසියේ උසස් පෙළ පංතියේ ය. එතෙක් වසර 11ක් තිස්සේ මේ සියලු දෙනා පාසැලින් සිය මව් බස උගෙන තිබේ.

අප කුමන භාෂාවක් උගත්ත ද කුමන විෂයක් කුමන බසකින් හැදෑරුව ද සිය මව් බස අමකත කිරීමේ හෝ නොතකා හැරීමේ හැකියාවක් අපට නැත. අපට ඇත්තේ එක මව් බසකි. එම භාෂාව භාවිතයෙන් වඩාත් සුමට කර අනාගත පරපුරට පැවරීම අපේ වගකීමයි. ඒ සඳහා අප මුලින් ම අපේ බස මැනවින් උගත යුතුය. අප ඉංගිරිසියෙන් උගත් අය වම්හයි! සිතා උජාරුවෙන් සිය මව් බස වැරදියට වහරන දීන නිවට තත්ත්වයට ඇද වැටීම ඔබට තරම් නොවේ. ඒ සඳහා මුල පිරීමට ඔබට ශක්තියක් වන්නට සිංහලයේ න ණ ල ළ රීති සමුදායක් ඔබ හමුවේ තබනට බලාපොරොත්තු වෙමි. මේ ඒ අරමුණින් කළ ප්‍රථම ලිපියයි.

සිංහල භාෂණයේ න ණ ල ළ බේදයක් නැතැයි බක පණ්ඩිත ලීලාවෙන් කීමට වඩා පවතින සම්ප්‍රදායට අවනත වෙමින් නිවැරදිව ලියමු. භාෂාවේ කිසිදු අනවශ්‍ය අංගයක් නොපවති. ඒවා කාලය විසින් භාෂාවෙන් මකා දමයි. ගසක වියළි කොළ හැලෙන්නා සේ ඒ අංගයෝ හැලී යත්. එමෙන් ම න ණ ල ළ භේදය යම් දිනක භාෂාවට අනවශ්‍ය අංගයක් වී නම් එය මැකී යනු ඇත. එය අපට වැළැක්විය නොහැකි ය. එසේ කළ යුතු ද නැත. එමෙන් ම අප ගඟට හත් ගව්වක් තබා අමුඩ ගැසිය යුතු ද නැත. එය ලෝකයාගේ සිනාවට කාරණයකි.

ණ රීති

1. මූර්ධජ 'ණ' සහිත සංස්කෘත තද්සම වචනවල අගට යෙදෙනුයේ මූර්ධජ 'ණ' කාරය ම ය.
අරුණ, අංගණ, ආඝ්‍රාණ, ග්‍රහණ, සම්ප්‍රේක්ෂණ, අරණ්‍ය, චූර්ණ, විකිරණ, විස්තීර්ණ, අවධාරණ

2. තත්භව 'ණ' කාරය ද මූර්ධජ ව සිටී.

සංස්කෘත පාලි සිංහල
බ්‍රාහ්මණ බ්‍රාහ්මණ බමුණු
වීණා වීණා වෙණ
ධරණී ධරණී දෙරණ
ලවණ ලෝණ ලුණු

3. සෙසු භාෂාවල 'ණ' යෝගයේ වෙනසක් ඇති විට සිංහල වහර පාලිය අනුව යයි.
සංස්කෘත පාලි සිංහල
ඵෙන ඵෙණ පෙණ
අනික අණික ඇණි

4. ගෞරවාර්ථයේ ආණ අණු අණි අණ්ඩ අණ්ඩි යන ප්‍රත්‍ය මූර්ධජ වේ.

මෑණියෝ, පුතණුව, පුතණ්ඩ, මාමණ්ඩි, බෑනණුවෝ, පියාණෝ

5. ඍ ර් ෂ් යන අක්ෂරයක් සමඟ 'න' කාරය යෙදෙන තැන්හි ඒ අතර ද ර ණ ඔ ඉ ශබ්ද එකක් හෝ කිහිපයක් හෝ යෙදුණ ද 'ණ' කාරය මූර්ධජ වේ.

දක්ෂිණ, ප්‍රමාණ, මුද්‍රණ, තර්කණ, නිර්මාණ, රක්ෂණ, නිරූපණ

6. සිංහල වදන් අඟ මූර්ධජ 'ණ' හෝ 'ළ' හල්ව නොසිටියි.

ණ - අණ දණ තණ බණ වණ
ළ - ඉහළ දළ කොළ පළ පොළ රළ

7. සකර්මක අතීත කාල කර්මකාරක ආඛ්‍යාත 'ණ' කාරවත් ව සිටියි.

බැලිණි, වැටිණී, දැවිණි, දැවුණු, රැකිණිමි

8. අතීත කාල ආත්මනේ පද ආඛ්‍යාත රූපය 'ණ' කාරවත් ව සිටියි.

දැනිණි, බැබැළිණි

9. වැකියක අවසාන ක්‍රියාව සඳහා යෙදෙන අතීත කෘදන්ත රූප අග යෙදෙනුයේ 'ණ' කාරයයි.

වැටුණේ ය, වැඩුණේ ය, පැසුණේ ය, බිඳුණේ ය, පැමිණුණේ ය

10. අතීත කාල කෘදන්ත රූප අගට යෙදෙන 'ණ' කාරය මූර්ධජ ව සිටියි.

බිඳුණු, වැටුණු, කැඩුණු, ඇසුණු, නැමුණු

11. අන් බසෙකින් ගත් මූර්ධජ 'ණ' කාරවත් වචන සිංහලයේ තද්සම වුව ද තත්භව වුව ද මූර්ධජ ව සිටියි.
අන් බස සිංහලය
ආභරණ අබරණ
කිංකිණි කිකිණි
තෘණ තණ
රෝහිණී රෙහෙණ
ධරණී දෙරණ

12. මූර්ධජ 'ණ' කාරය මුලට යෙදෙන ප්‍රකෘති සිංහලයේ දුලබ ය.
ණය
ණිය

මූලාශ්‍ර කෘති
කුඩාතිහි, අනඳපිය _ 2000 න ණ ල ළ වහර ගොඩගේ කොළඹ.
සේනාධීර, ගුණපාල _ 1999 නිවැරදි වහර ගොඩගේ කොළඹ.
සුමනජෝති, පල්ලත්තර සහ පඤ්ඤාලෝක, වැයිහේනේ _ 1999 වාග් විද්‍යාත්මක සිංහල ව්‍යාකරණය ගොඩගේ කොළඹ.