2009-03-19

ආගම දළඳා වන්දනාව සහ බෞද්ධයා

වසර කිහිපයකට පසු අති උත්කර්ශවත් ලෙස පැවැති ශ්‍රී දළඳා ප්‍රදර්ශනය නිම විණි. දළඳා ප්‍රදර්ශනය ඇරඹෙත් ම නියං සමය අහවර කරමින් වට අසිරිමත් වැස්ස බොහෝ බෞද්ධයින්ගේ බැති හැඟුම් කුළුගැන්වූ අතර තමන් බුදු දහම අතැඹුලක් සේ පසක් කළ ධර්ම භාණ්ඩාගාරිකවරුයයි සිතා සිටින නාම මාත්‍රික බෞද්ධ පිරිසක් ඊට කරන ලද නින්දා අපි දුටුවෙමු. බටහිර විද්‍යාවෙන් උමතු කරන ලද මේ නරුමයින් දන්ත ධාතුව කාබන් පරික්ෂාවට ලක්කිරීමට යෝජනා කර තිබිණි. එහෙත් මේ උගත් මහත්වරු DNA පරික්ෂාවක් නොකර යම් පුරුෂයෙකුට තාත්තා යයි කියති.

තවත් උගතෙක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ලේඛන අනුව මේ නුවරට වැසි කාලය බව ඔප්පු කළේ ය. එහෙත් දළඳා ප්‍රදර්ශනය දක්වා නියං සාය පැවැතිණි. වැසි වැට්ටේ දළඳා ප්‍රදර්ශනය ඇරඹිදා ය. ඒ වැස්ස ඊට පෙර දවස හෝ පසු දවස නොවැස්සේ ඇයි? අර ඊනියා උගතාට ඊට දිය හැකි පිළිතුර කුමක් ද?

ඇමරිකාවේ හෝ බටහිර රටක නොඉපදීයයි තැවෙමින් සිංහලකම බෞද්ධකම ගරහන අතර අපට බෞද්ධ දර්ශනය උගන්වන්නට ද තටමන තව නිවටයෙක් දන්ත ධාතුව ජල සම්පාදනය සඳහා යොදා ගැනීමට යෝජනා කර තිබිණි. මේ නිවට පිංගුත්තරයින් හිනැහෙන්නේ මේ රට ජනතාවටයි. ඔවුන්ගේ සංස්කෘතියටයි. ආගමටයි.

ජනතා බදු මුදලින් නිපැයෙන නිදහස් අධ්‍යාපන වරමින් මුන් උගත්තේ ඒ දහදිය මුදල් කළ ජනතාවට හැනැහීමටයි. ඒ අධ්‍යාපනය ද නිකම්ම ලද නිසා එය ද හරියට ලබා නැති බව උන් සිය හැසිරීමෙන් සනාථ කර තිටිති. ආගම යනු සත්‍යය නොව යමක් සත්‍යයයි පිළිගැනීම හෙවත් විශ්වාස කිරීම බව මොවුන්ට නොවැටහෙන්නේ ඒ නිසා නොවෙද?

ලොව විද්‍යාව මගින් සනාථ කළ ආගම් කොහිවේ ද? කතෝලික මුස්ලිම් හින්දු ඈ දේවවාදී ආගම් මැවුම්කාර දෙවියෙකු ගැන විශ්වාස කරති. දිවා කල විශ්වවිද්‍යාලයේ මහා පිපිරුම්වාදය ගැන දේශන පවත්වන යුරෝපීය ඇමරිකානු මහාචාර්යවරු සවසට පල්ලියට ගොස් ලෝකය මැවූ සර්ව බලධාරී දෙවියන් නමදිති. ලෝකයා විද්‍යාත්මක ඇසින් ආගම දෙස බැලුවා නම් මුලින් ම සියලු දේවවාදී ආගම් ලොවෙන් අතුරුදහන් විය යුතු ය. එහෙත් අදත් ලොව වැඩි පිරිසක් අදහන්නේ දේවවාදී ආගම් ය. එහි අරුත මිනිසා විද්‍යාව සහ ආගම පටලවාගෙන නැති බව ය.. එහෙත් අපේ රටේ කළු සුද්දාට, සුද්දා කීවා නම් එය දේව වාක්‍යයෙකි. ආගම බල්ලට ගියාදෙන් ය. බුදුන් බල්ලට ගියාදෙන් ය. සම්ප්‍රදායත් බල්ලාට ගියාදෙන් ය.

ආගම යනු යමක් සත්‍ය වීම නොව සත්‍යයයි විශ්වාස කිරීම ය. බුදු දහමට ද ඒ න්‍යාය පොදුය. එහෙයින් බෞද්ධයෝ ශ්‍රී පාදය වන්දනා කරති. ජය ශ්‍රී මහා බෝධිය සහ අනුශාකා නමදිති. ශ්‍රී දළඳා පුදති. තව නොයෙක් ආමිස පූජාවන්හි යෙදෙති. බුදු රදුන් පිං අනුමෝදන් කරන්නැයි කී දෙවියන් ද පුදති. සිල් සමාදම්වීමෙන් ධර්ම ශ්‍රවනයෙන් ප්‍රතිපත්ති පූජාවට හුරු වෙති. මේ සියල්ල ඔවුන් කරන්නේ තම තම නැණ පමණින් ය. එය බුද්ධාගමයි.

මේ ආගමින් වෙනස් වූ බෞද්ධ දර්ශනය ද ඇත. (සැබවින් ම බුදු රදුන් ආගමක් දේශනා නොකළ අතර උන්වහන්සේ දෙසූ දර්ශනය ඇසුරින් පෘථග්ජන මිනිසා ආගමක් තනා ගත්හ.) සසර දුක හෙයින් ඒ දුකින් මිදීමට කැමති උදවියට ඒ දර්ශනය අනුගමනය කිරීමට කවර බාධාවක් ද? ඒ සඳහා බුද රදුන් අනුමත කළ මූලික මාර්ගය ගිහිගෙය අතැර පැවිදි වීම ය.

එසේ ම සංසාරේ ගමන් කරන, සාමාන්‍ය ජීවිත ගතකරන මිනිසුන්ට පෙරකී බෞද්ධ ආගම ඇදහීමට කවර බාධාවක් ද? තමන්ට එදිනෙදා මුහුණදීමට සිදුවන දුක් කරදර ශෝක පරිදේව දරා ගැනීමට පිළිසරණ වන්නේ මේ ආගම ය. ඔවුන්ට විඳින්ට සිදුවන දුක් ගැහැට නිසා දූදරු අඹුදරුවන් අතැර ආරණයගත විය නොහැකි ය. එහෙයින් ඒ දුක සමහන් කරගැනීමට ඔවුහු ආගම වෙත ඇදෙති. ඉන් මානසික සහනයක් ලබති. එතැන නොනැවතී සසරින් එතෙරවීමට සිතන අයට පෙරකී බුද්ධ දර්ශනය වෙත යාමට හැකි ය.

ඒ මිනිසුන්ට තමන් උඩින් පල්ලෙන් උගත් ඊනියා බටහිර විද්‍යාව ආයුධයක් කරගෙන සිනාසීම කවර විපරිතයක් ද? මොන විහිළුවක් ද? මේ මානසික රෝගීන්ට අනුකම්පා කළ යුතු ය. ඒබ්‍රහම් කෝටූර් කලක් එම රෝගයෙන් පීඩා විඳ මිය ගියේ ය. කාලෝ ෆොන්සේකා එක් කලෙක හරක් මස් කා අරක්කු බී කතරගම ගිනි පාගා අවසන නැටූ නැටුමක් ද බෙරේ පළුවක් ද නැතිව අද නම් යම් එළැඹි සිහියකින් සිටියි. එහෙත් ද්‍රවිඩ ජනතාව අදත් සිය ගණනින් ගිනි පාගති. උතුරේ සිට දකුණට පයින් විත් කතරගම දෙවිදුන්ගේ දේවාශිර්වාදය පතති. බෞද්ධයෝ දස ලක්ෂ ගණනින් දළඳා වන්දනාවට ඇදෙති. එය ආගමයි. ආගම ගෝචර වන්නේ බුද්ධියට නොව හදවතට ය. හදවතක් නැතිවුන්ට එය අවබෝධ කරගත නොහැකි ය. ඒ නිසා ඒ රෝගීහු හදවත් ඇත්තවුන්ට සිනාසෙති. අනුකම්පා කරනු හැර කුමක් කරම් ද?

විමලරත්න කුමාරගම නමැති විශිෂ්ට කවියා මේ මානසික දිළින්දන් ගැන සිය 'අයියනායක' කවි පෙළේ ලියූ කවකින් මේ සටහනට කුණ්ඩලිය තබමි.

සාගත වසංගත හා එන නියඟවලින්
සහනය පතා වන දෙවියන් ළගට කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින්