2008-08-18

අබා පඬුඅබා සහ ක්‍රිස්තු චරිතය

දඹදිවට පහළින් කඳුලු බිඳුවක හැඩැති දූවකි. කි.පූ. 543 තම්බපන්නි යයි නම් ලද මේ බිම්කඩ ඉන් වසර 100ක් ඉක්ම ගිය තැන්හි ‘සිංහලය’ බවට පත් විය. මෙසේ ලොව ප්‍රථම ජාතික රාජ්‍ය බිහි කළ වීරයා පණ්ඩුකාභය රජු ය. ඔහුගේ ළමා කාලය, ජැක්සන් ඇන්තනී සිංහල සිනමාවේ සිත්තම් කළේ ‘අබා’නමිනි. කි.පූ. 5 වන සියවස හෙවත් අදින් වසර 2500ට පෙර යුගයේ වසර 15 ක පමණ යුගය අළලා නිමැවුණු අබා සිනමා කාව්‍යය සෑම සිංහලයෙකු ම අනීවාර්යයෙන් නැරඹිය යුතු ය.


අද 60 වන විය ද පසු කළ වයෝවෘද්ධයකු වන සිංහල සිනමාවට ඓතිහාසික කතන්දර ආගන්තුක නැත. වීර පුරන්අප්පු, අශෝකමාලා, සිරිසඟබෝ, සංදේශය, සීගිරි කාශ්‍යප, වීර මද්දුම බණ්ඩාර ඉන් කිහිපයකි. එදාමෙදා තුර නිපයූ සිංහල චිත්‍රපට 1100 සමඟ සසඳන එහි මහා සුලබත්වයක් ද නැත. එමෙන් ම අබා අයත් වන්නේ ඓතිහාසික සිනමාවේ ද උප ප්‍රභේදයක් වන වීර කාවය සම්ප්‍රදායට බව අප අමතක නොකළ යුතු ය.

වංශකතාවල එන පරිදි බෙංගාලයේ වඟු රජුගේ දියණියක සහ ගුජරාට දේශයේ ලාට රට සිංහයකුගේ පුතු සිංහබාහු ය. ලාට දේශයේ රජ වන සිංහබාහු සිය පුතුගේ නොපනත්කම් නිසා හේ රටින් පිටුවහල් කරයි. තම්බපන්නියට බට ඔහු කුවේනියගේ උදව්වෙන් රාජ්‍ය පැහැර ගෙන රජ වෙයි. අවසන දඹදිවෙන් බිසවක ගෙන්වා ඔහු අභිෂේක කරන අතර කුවේනියට මාළිගයෙන් පිමං වන්න‍ට සිදුවේ. කුවේනියගේ ශාපය නිසා විජයට දරු සම්පත් නැති වන හෙයින් අණතුරුව මෙරට රජ වූයේ එකල ලාට රට රජු වන ඔහුගේ සොයුරු සුමිත්තගේ බාල පුතු පණ්ඩුවාස දේව ය. ඒ රජුට දාව භද්දකච්චානා බිසව පුතුන් 10 දෙනෙක් ද දුවක් ද ලැබුවා ය. ඒ දුව පඬුඅබා රජුගේ මව උන්මාද චිත්‍රා ය. පණ්ඩුවාස දේවට පසු ඔහුගේ වැඩිමහල් පුතු අභය රජ විය.

ජැක්සන් ඇන්තනී සිය අපූර්ව ඉසියුම් ප්‍රතිභාව විසින් මුවහත් කළ කාල්පනික ශක්තිය නම් පින්සලින් සිංහල සිනමාව නම් කැන්වසය මත අඳින්නේ ඒ කුමරු සොළොස් වියැති වන තුරු කාලයයි. නක්ෂත්‍රකරුවන්ගේ අනාවැකියක් නිසා මරණය දෝතින් දරා උපදින පඬුඅබා උපන් මොහොතේ ම උපක්‍රමශීලි ලෙස දොර මඬලාවට යැවිණි. අබා උපන්දා සිට මුහුණ දෙන අතිබිහිසුණු අත්දැකීම් සමුදාය කාල්පනික මොහොතක වසර 2500ක් අතීතයට පියමංකර ආවර්ජනය කිරීම කෙතරම් චමත්කාරජනක ද? අපූර්ව ද?

මේ අපූර්ව වීර චාරිකාවට අපි ද නිතැතින් ම එක්වෙමු. දොරමඬලාවේ යක් ගොත් දිවියේ තවත් අංශුවක් බවට අපි පත්වන්නෙමු. එහි කුඩාවුන් සමඟ අපි ද කෙළිමු. අංගම්පොරයට වැටෙමු. ගහකොල අතර සරමු. අපේ මුත්තලාගේ සුවඳින් ආලෝලනය වෙමු. නවීන තාක්ෂණය හා මුසු වූ ඒ සුවඳ හොලිවුඩ් බොලිවුඩ් සිනමාව ජය ගන්ට ප්‍රමාණවත් වනු ඇත.

අබා අධ්‍යක්ෂණයේ පටන් බොහෝ අංශ සුවිශිෂ්ට ය. විශේෂයෙන් අබරාගේ රංගනය (සෞම්‍ය ලියනගේ) නදීක ගුරුගේ ගේ මියැසි මුසුව සුමින්ද වීරසිංහගේ කැමරා ඇස පරයන කලා ඇස ගැන සඳහන් නොකරම බැරි ය. කොටින් ම අබා එකෙකුට එකෙක් නොදෙවෙනි සාමූහික වෑයමක අග්‍රඵලයයි

ඓතිහාසික වශයෙන් ගත් කල ඉතිහාසය පුරෝකථනය කිරීමෙහිලා අබාහි මා දකින වැදගත්කම සිංහලයාගේ ලේ උරුමය ඉතිහාසයේ නියම තැන පිහිටුවීමයි. වංශකතාකරු සිංහලයේ සම්භවය විජයට පැවරීම ඓතිහාසික වරදකි. ස්වදේශීය යක් නා අසුර රාක්ෂ ගොත් (ගෝත්‍ර) සහ විදේශීය සිහ (සිංහ) ගොත එක් චින්තනයක් යටතට ගෙනාවේ පඬුඅබා රජු ය. සිංහලයා බිහිවූයේ මේ හැම ගොත් මුසුවීමෙනි. සිහ සහ හෙළ ගොත් මුසුවී සිහ + හෙළ > සීහෙළ > සිහළ > සීහළ > සිංහල විය. චිත්‍රපටයේදී අබාගේ පිය පදවිය චිත්‍රරාජ නම් යක් සෙන්පතිට පැවරීමේ ප්‍රවාදය මගින් සිංහලයාගේ පරම්පරික උරුමය රාවනා යුගයෙන් ඔබ්බට රැගෙන යයි.

එහෙත් ලොව පරිපූර්ණ නිර්මාණ කවදා බිහිවේ ද? ඒ දහම අබාට ද උරුම ය. මේ සොඳුරු ගමනේ දී අප හද කටු ඇනී රිදුණු තැන් කිහිපයකි. වරක් ජෝර්ජ් බර්නාඩ් කීවේ නරක ඉදිරිපත් කිරීම් නරක ලෙස ද හොඳ ඉදිරිපත් කිරීම් හොඳ ලෙස ද දකින්නා හොඳ ම විචාරකයා බව ය. එහෙයින් ලියමි.

පෙර රජ දවස වාසලේ සිටි රාජ සේවකයෙකි;අණබෙරකරු . ඔහුගේ කාර්ය රාජාඥා ජනතාව හමුවට ගෙන යාම ය. එය නිවැරදිව කිරීම වගකීම ය. ඔහුගේ මුවින් ගලා එන්නේ රජුගේ ආඥා ය; නීති ය. එහෙත් අබාහි අණබෙරකරුට ව්‍යාජ විකට ස්වරූපයක් ආරෝපණය කර ඇත. ඉන් පොදුවේ නිර්මාණයට වන සෙතක් නැත. ආඥාවේ කෘර බව පවා එමහින් මැකී යයි.

එමෙන් ම එකල පූජක පිරිස් ගායනා කළේ මෙවන් ස්තෝත්‍ර ද යන සැකය අප තුළ මතු වෙයි. ඒ පිළිබඳ මීට වඩා අවධානය යොමු කළේ නම් මැනවි.




මේ සියලු කාරණාවලට වඩා අබාහි පෞරුෂය අකාමකා දමන දුබලතාව ඉතා ම බොළඳ ලෙස ක්‍රිස්තු චරිතය සහ ගැළවුම්කාරයා ඉස්මතු වීම ය. අබාහි ප්‍රතිනිර්මාණය වන සිද්ධි දාමය සිදුවන කල්හි ක්‍රිස්තුතුමා ඉපදීවත් නැත. එහෙත් රාජ උදහසට ලක් වූ චිත්‍රරාජ මරණය දඬුවම පිණිස ගෙන එන අවස්ථාව මුළුමනින් ම ක්‍රිස්තුතුමා කුරුසිය මත ඇණ ගැසීම සහෘද සිත් තුළ මැවෙයි. ක්‍රිස්තුතුමාගේ රූප ස්වරූපය, කුරුසය, කල්වරි කන්දට ආ ගලීලයේ සහ ජෙරුසලමේ ගැහැණු, ඒ මොහොතේ පරිසරයේ සිදුවූ වෙනස්කම් ආදී සියල්ල අපට සිහිපත් කළේ බයිබලයේ එන ක්‍රිස්තුතුමා කුරුසිය මත ඇණ ගැසීම ය.

“ජේසුස් වහන්සේ මහ හඬක් නඟා අවසන් හුස්ම මුදා හැරිය සේක. එවිට දේව මාළිගාවේ තිරය ඉහළ පටන් පහළ දක්වා දෙකට ඉරී ගියේ ය. උන්වහන්සේ අබිමුව සිටි ශතාධිපතියා උන්වහන්සේ මෙසේ අවසන් හුස්ම හළ බව දුටු කල ‘සැබැව්න් ම මේ මනුෂ්‍යයා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ම ය’ කී ය. ස්ත්‍රිහු ද දුරින් බලා සිටිය හ. ඔවුන් අතර ගලීලයේ සිටිය දී උන්වහන්සේ පිරිවරා ගොස් උපස්ථාන කළ මග්දලායේ මරියාත් කුඩා ජාකොබ්ගේ ද ජොසෙප්ගේ ද මව වූ මරියාත් සලෝමිත් උන්වහන්සේ සමඟ ජෙරුසලමට ආ බොහෝ කාන්තාවෝත් සිටියහ.” (ශුද්ධ බයිබලය-සුබ අස්න_ 69 - 2006, ශ්‍රි ලංකා බයිබල් සංගමය.)

එදා ක්‍රිස්තුතුමාගේ මළගම දුටු ශාතාධිපති පවසන්නේ මේ නම් දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ බව ය. අද අබාහි චිත්‍රරාජගේ මළගම දකින අපට පැවසීමට ඇත්තේ ද මේ නම් චිත්‍රරාජ නොව දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ම බව ය. මෙවන් අතාත්වික භාවිතාවකින් සමස්ත චිත්‍රපටයට වන යහපත කුමක් ද? පඬුඅබා පුරාවෘත්තයට ඉන් හානියක් නොවේ ද? කෘතියේ ඒකීය ධාරණාව මේ නිසා නොබි‍ඳේ ද? මට සිතෙන්නේ
මෙහි ප්‍රතිඵලය ලෙස අප කලින් සඳහන් කළ ඉතිහාස ප්‍රතිඅර්ථකථනය යටපත් කරගෙන දෙවියන් වහන්සේ ම ඉස්මතු වෙති. වංශකතා අනුව පඬුඅබාගේ පියා දීඝ ගාමිණී ය. චිත්‍රාව පසුව විවාහ වන්නේ ද ඔහු සමග ය. හේ භද්දකච්චානාගේ සොහොයුරෙකි. එහෙත් අබාහි පඬුඅබාගේ පියා චිත්‍රරාජ ය. ඔහු මරණයත් සමග දේවත්වය ලබයි. ඒ අරුතින් අබා දෙවියන් වහන්සේගේ පුත්‍රයා ය.

“ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සිදුවූයේ මෙසේ ය. උන් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමී ජෝසෙප් හා විවාහ ගිවිසගෙන සිටියදී, ඔවුන් එක් වන්නට පෙර, ශුද්ධාත්මයාණන් අනුහසින් ඈ ගැබ්ගෙන සිටින බව දැන ගන්නා ලදි ” (ශුද්ධ බයිබලය-සුබ අස්න _2)

ඒ අනුව දීග ගාමිණි ද ජෝසෙප් මෙන් ම අබාගේ නාමික පියා පමණි. අබාගේ පියා දෙවියන්වහන්සේ ය. යුදෙව් ඇඳුමෙන් සැරසී පෙනී සිටින දෙව් පියාණෝ සිය අසීමිත බලයෙන් පුතු සුරකින සේක.

අපට පඬුඅබා පුවත පුරාවෘත්තයක් ලෙස සම්ප්‍රදායෙන් ලැබුණු නිසා ඒ විඥානගත ඉව ඔස්සේ අපි අබා තුළින් පඬුඅබා දකිමු. එහෙත් ජාත්‍යන්තර වෙළඳපොළ ඉලක්ක කර නිපයූ අබා ලෝකයට දෙවියන් වහන්සේ පිළිබඳ කතාවක් පමණක් නොවනු ඇද්ද?

ජැක්සන් කතෝලිකයෙක් නිසා මෙවන් විවේචන එල්ල කරතැයි හුදු නියාලු මතවලට නොබැසිය යුතු ය. රසිකයාට වැදගත් නිර්මාණය සහ නිර්මාණකරුවා ඊට සාධාරණය ඉටු කොට ඇද්ද යන්න ය. එහිදි මට වැදගත් ජැක්සන් ඇන්තනී නම් නිර්මාණකරුවා මිස ඔහුගේ ආගම නොවේ. අතිඋතුම් මර්සලීන් ජයකොඩි පියතුමාගේ නිර්මාණවලින් අපි අද ද ඉමහත් ආස්වාදයක් ලබමු. අනෙක් අතට මහා සිංහලයේ වංශකතාවේ පූරකයා ලෙස ඔහු කළ කාර්යයභාරය එසේ අපට ලඝු කළ හැකි ද? එකී දේවත්වාරෝපණයෙන් නිර්මාණයට සාධාරණයක් වී නම් මම ජැක්සන් වෙනුවෙන් පෙනී සිටිමි.

මේ පිළිබඳ දිවයින ඉරිදා සංග්‍රහයට (08/08/17) ජැක්සන් ඇන්තනී කළ ප්‍රකාශය ඉතා ම බොළඳ සහ රැවටිලිකාර ය. කිතුනුවන් නොවන අපට ද කිතු දහම සිහිගන්වන මෙකී අවස්ථා කිතුනුවෙකුට එසේ නොවේ යයි පිළිගත හැකි ද? එමෙන් ම දඬුකඳ දෙපයට මිස දෑතට දමන බවක් මා නම් දන්නේ නැත. මේ උද්වේගකර මොහොතට දිය යුතුව තිබුණේ දේශීය මුහුණුවරකි. ‘සිංහල රජ කාලේ දඬුවම් ක්‍රම’ මැයෙන් රචිත පොතක් ගැන මා මතකයේ හාංකවිසියක් ඇතත් වැඩි මතකයක් නැත.

මේ වෘත්තාන්තය දිග හැරෙන්නේ දෙවන පෑ තිස් රජ දවසට එනම් මහින්දාගමනයට වසර 100-150කට පමණ පෙර දවස ය. ඒ වන විට බුදු රදුන් තෙවරක් මෙරටට වැඩම කොට තිබුණ ද උපතිස් නුවර රජ පෙළපත් ඇත්තෝ බෞද්ධ නොවූ හ. එය ඉතා ම පැහැදිළි ය. එකල මෙරට තබා මෙලොව කොතැනවත් කිතු දහම නොවූ බව ද කි.ව. 1505න් පසු කිතු දහම මෙරට ව්‍යාප්ත වූ බව ද ඊටත් වඩා පැහැදිළි ය. එහෙයින් එකල මෙරට බ්‍රාහ්මණ නිගණ්ඨ ආදී ආගම් පැවතිනැයි අනුමාන කළ හැකි ය. ඉන් වසර 300 ක් පමණ ගිය තැන වළගම්බා රජ දවස හමු වන ගිරි නම් නිගණ්ඨයා සහ තිස්ස නම් බමුණා ඒ සඳහා සාධක සපයයි. අභයගිරි සෑය ගිරි නිගණ්ඨගේ නිගණ්ඨාරාමය තිබූ තැන සැදවූ බව කියවේ. එහෙයින් අබාහි චරිතවල ගැබ්විය යුත්තේ එවන් විශ්වාසනීය ලක්ෂණ ය. එසේ නොවූ කල සහෘදයා අපේක්ෂා භංගත්වයට පත්වේ.

කෙසේ වුව ද කුමරතුඟුන් පැවසූ පරිදි ම තෙරක් නොමැති කවි සසරේ මහබඹු කවියා විතර ම ය.නිර්මාපකයාට කළ නොහැක්කේ කුමක් ද? එහෙයින් කලකින් ලද මේ රස මදිරාව එහි වට නීරස රොඩුබොඩු ඈත්මෑත් කර වළඳමු.

අබා කරළියට සපැමිණෙන මේ ඓතිහාසික සමාජ මොහොත ගැන යමක් නොකියා ම බැරි ය. ඉතිහාසය විෂය 70 දශකයේ මුල පාසැලෙන් දොට්ට දැමිණි. එදා පාසැල් ගිය දරුවා අද වයස 30ක 40ක මිනිසෙකි. සිය මව්බිමේ ඉතිහාසය නොදත් ඔහු අද සමාජයේ නෙක තණතුරු දරයි. හෙට දවසේ මෙරට නායකත්වය හිමි ඔහුට ය. එහෙත් ඔහුට මෙරට මුල් තිබේ ද? ඒ මුල් උදුරා ඔහු ගන්දබ්බයෙකු බවට පත් කොට නැද්ද? එවැන්නකු රජවූ කල රට තව තවත් සංස්කෘතික කාන්තාරයන් වනු නැතැයි කාට කිව හැකි ද? එහෙයින් ඉතිහාසය නොදත් අපේ පරපුරට නැවත ඉතිහාසය සිහිපත් කරලීම වැදගත් ය. අප සියලු දෙනා අපේ මුල් සොයා ඉතිහාසයේ කිමිඳීම වැදගත් ය. එමගින් දෑ අබිමනට පණ පොවා ලෝකය ඉදිරියේ නැඟී සිටීමට ඇවැසි දිරිය අපට ලැබෙනු ඇත.
ආර්ථික අධිරාජ්‍යවාදයේ වහල් දූපකත් බවට පත්ව ඇති රට එකල්හි අප උරමතින් නිදහස කරා පිය මනිනු ඇත.

2008-08-07

මා බස හෙළ බස

අප මව් බසේ නමේ නිවැරදි අකුරු විනිස 'සිංහල' ද 'සිංහළ' ද යන්න පිළිබඳ නැවතත් විවාදාත්මක තත්ත්වයක්
මතු ව ඇත. මව් බසේ නම නිවැරදිව ලිවීම ඉතා ම වැදගත් හෙයින් ඒ පිළිබඳ මදක් විමසමු.

සිංහළ ලෙස ලියූ විද්වතෙකි; සිරිමත් දොන් බාරොන් ජයතිලක අයෙකි. මැවිසුරු ඊලියන් ද සිල්වා සහ බසිසුරු
අරිසෙන් අහුබුදු යන විද්වත්හු තවමත් එසේ වහරති. එමග නිවැරැදි සේ ගත් අලුත් පිරිසක් ද තුරු දැලේ දැන්
දැන් දක්නට ලැබේ. කෙසේ වුව ද අපේ සම්භාව්‍ය සාහිත්‍යයේ 'සිංහළ' ලෙස යෙදුණු තැනෙක් නැත. එසේ
නොයෙදුණු පමණින් බැහැර නොකළ යුතු සේ ම කෙනෙක් බැවහර කළ පමණින් අප ද එසේ කිරීම
නොකටයුතු ය.



සිහළ යනුවෙන් ලියන ඇතැමුන් පවසන පරිදි හෙළ > සිව් හෙළ > සීහෙළ > සීහළ > සිංහළ වී ලු. සිංහළ සකු
බසට සිංහල වූ අතර එය සකුවෙන් ගත් අප සිංහල යයි වහරයි ලු.

හෙළ යන්න පාලියට සීහළ වෙයි. සීහළ අට්ඨකථා යනු නිදසුනෙකි. සිංහළ යනු වියත් වහරක් නොවේ. මන්ද සිංහල යනු සංස්කෘත වදනකි. සිංහළ යයි ලිවිය නොහැක්කේ 'ළ' කාරයක් සකුවේ නැති හෙයිනි. අප සිලෝන් යයි සිංහලෙන් ලීව ද එය ඉංග්‍රීසි වදනෙකි. සිංහල අකුරින් ලියූ පමණින් ඉංග්‍රිසි ශබ්ද අපේ නොවන්නේ යම් සේ ද සංස්කෘත ද එසේම ය. එම දැනුම පැරැණි හෙළ පඬුවන් කෙරෙහි නොමද ව තිබූ හෙයිනි: කොතැනකවත් අපට 'සිංහළ' යයි වහරක් සම්භාව්‍ය සිංහල සාහිත්‍යයේ හමු නොවන්නේ.

මේ ගැන අනඳපිය කුඩාතිහි සූරීන් දක්වන අදහසක් මෙසේ ය.

"සියවස් ගණනාවෙක සිටැ පැවැත ආ සිංහල අක්ෂර වින්‍යාස රීතිවලට පටහැණි ව යෙමින් සිංහළ රුහුනු විස්නු
රාවන නය (ණය වෙනුවට) ළංකා හෙළංකා ළක්දිව ඈ විසින් ලියන වියත්හු දෙ තුන් දෙනෙක් ද වෙති. ඊට හේතු
යුක්ති නොපැහැදිලි යැ." (නණලළ වහර 1997)

මේ අයුරින් ම සිංහල අක්ෂර වින්‍යාස රීති ගරු කරමින් 'සිංහල' යන්න ශබ්ද විද්‍යාත්මකව නිවැරදි යයි ගත්
සිංහල විද්වතුන් බොහෝ ය. වැලිවිටියේ සෝරත හිමි, විමල් ජී. බලගල්ලේ, සුචරිත ගම්ලත්, සිරී තිලකසිරි,
ගුණපාල සේනාධීර, සෙනරත් පරණවිතාන, හරිස්චන්ද්‍ර විජේතුංග, කේ. ජයතිලක, ශ්‍රීනාත් ගනේවත්ත, ඩබ්.
එස්.කරුණාතිලක, ජේ.බී. දිසානායක, විනී විතාරන යනු ඉන් අතළොස්සකි.

දෙස බස රැස යන තෙරුවනෙක් නම් කොට සිය පණ බසට දුන් කුමාරතුංග මුනිදාස මහතාගෙන් ආධුනිකයෙක් මේ දෙවදනින් (සිංහල/සිංහළ) නිවැරදි කිමෙක්දැයි වරක් ඇසුවේ ය. මේ ඔහුගේ පිළිතුර ය.

"සිංහල යනු මැ යැ, නිවැරැදි සංස්කෘතයෙහි 'ළ' යන්නක් වියැ හැකි නොවේ. 'ළ' යුක්ත වූ ශබ්දයක් අන්
බසෙකින් ගැනුණු කලැ ද යෙදෙනුයේ 'ල' යනු මැයි, පාලියෙහි "සීහළ" යන්න සංස්කෘතයෙහි සිංහල වන බව
මෙයිනුදු නො පෙනේ ද?" (සුබස 1939 පි. 29)

මේ අනුව අප අවබෝධ කර ගත යුතු සත්‍යය නම් සිංහල යනු සංස්කෘත වදනක් බව ය. එහෙයින් එහි අක්ෂර
වින්‍යාසය සංස්කෘත රීතියට අනුගත විය යුතු බව ය. සීහළ යනු පාලියයි. අපේ බසට නමක් සිය බසින් ම අවැසි
නම් ඒ සඳහා 'හෙළ බස' යයි යෙදීම කෙතරම් හුරුබුහුටි ද? 'අප බස හෙළ හෙළ හෙළ-නුවණත් හෙළ නිවනත්
හෙළ' යන කුමරතුඟු ගී පද ඊට අපට මං නොකියයි ද? එසේ නොකොට අනුන්ගේ වදනක් අපේ යයි කෑ ගසන අය
නොවෙද ගැත්තෝ ?


වරක් 'කනිටු' 'කණිටු' යන දෙකෙන් නිවැරැදි කුමක් දැයි සුබසින් විමසන ලදි. ඊට කුමරතුඟුන් දුන් පිළිතුර කනිටු
යන්න සකු කනිෂ්ට යන්නෙන් බිඳි හෙයින් නිවැරදි බව ය. සිය පොත පතේ ද කණිටු යන්න තිබුණ ද ඒ
වරදකැයි ද හෙතෙම කීවේ ය. එහෙත් ඒ විසල් මනසැති මහා පුරුෂයා සතු නිහතමානි ගුණය අද කොයින් ද?