2008-07-26

කුමරතුඟුන්ගේ අගේ

එදවස ගුරුළුදැමී විදුසක්විත්තන් බිණු හෙළ බස ඔත්පල වැ යටපත් වැ හොත් කලෙකැ එමැ දුබුල් බසැ කැණ සුබස නඟාලූයේ කුමරතුඟු මැ නො.

එද කුමරතුඟුන්ගේ මෙහෙයැ බසට මැ පටු නොවී යැ. හේ හෙළයේ දෙස්පලු නිදහස ගෙරකු නිදහස හැදියා නිදහස පිණිසැ ජන මන අවදි කළේ යැ. දැයේ උස් නිදහස පිණිස මැ හේ කළ මිණි පබඳෙකි මේ.

ඉදිරියට මැ යවු
හෙළයෙනි } දුවය
ඉදිරියට මැ යවු

මරුට සිනාසෙවු
හෙළයෙනි
මරුට සිනාසෙවු
අපගේ රටෙහි මැ යැදැ - යැදැ
ගැති වී තව තව හිඳිමු ද?
නිදහස නැති දිවි කුමට ද?
ඉදිරියට මැ යවු.......

දෑ ගති සලකවු
හෙළයෙනි
දෑ ගති සලකවු
පෙර කලැ අපගේ මුත්තෝ
දිවි දී දැය රැකැ - ගත්තෝ
වෙමු ද ඉතින් අපි ගැත්තෝ?
ඉදිරියට මැ යවු.......

හෙළයට දිවි දෙවු
හෙළයෙනි
හෙළයට දිවි දෙවු
අප රට හෙළ අප දැය හෙළ
අප බස හෙළ හෙළ හෙළ
නුවණත් හෙළ නිවනත් හෙළ

ඉදිරියට මැ යවු
හෙළයෙනි
ඉදිරියට මැ යවු

කවර රටකැ වුව බස රැස සුරැකෙන්නේ දෙස්පලු නිදහස මත මැ බවැ කුමරතුඟුහු සිය විසල් මනසින් මැනවින් පසක් කළාහු යැ.
ඔබගේ අගේ එදවසට වඩා සිය දහස් ගුණෙන් අද ලක් මෑණියැන්දෑ ඉල්ලා සිටින්නි යැ. අරිසෙන් අහුබුදු ලියූ පරිදි මැ කුමරතුඟුන්ගේ අගේ දවසැ දවසැ හෙළ දැයේ ඉර වගේ සඳ වගේ ජයට පතළ වේ මැයි.

පුන්සඳ සේ පීදි හෙළයේ අමාවක පුරපසට පෙරළු ඒ මහා ගුණ කඳ ක‍දෝකිමි මා කෙසේ වණම් ද? හෙළයේ පිනට මැ පහළ වූ ඒ මහා හෙළයාණන්ගේ බසිසුරාණන්ගේ පා පියුම් මහද වනපස මලින් පුදම් !

ගැටපදය: _ දෙස්පලු_ දේශපාලන
_ ගෙරකු_ ආර්ථික
_ හැදියා_ සංස්කෘතික
_ කදෝකිමි_ කලාමැදිරියා

2008-07-24

සුදු සෙවනැලි

සිංහලයාට විදේශ ආක්‍රමණ අරුමයක් නොවේ. අනුරාධපුර සමයේ සේන ගුත්තිකගේ පටන් නේක පරසතුරන්ට ඔහු මුහුණ දුන්නේ ය. ඒ සෑම විට ම සිය රාජ්‍යයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීමට හේ සමත් විය. එහෙත් 1505 ඇරඹි පෘතුගීසි ආක්‍රමණය අවසන 1815 දිවයින බ්‍රිතාන්‍යය යටත්විජිතයක් බවට පත්විය. මේ යටත්විජිතවාදය හුදු ආර්ථික සූරාකෑම පිණිසයයි කියන්නෝ දැන හෝ නොදැන අප නොමග යවති. ආක්‍රමණය නියම බරින් අවබෝධ කර ගැනීමට මං අහුරති.



එදවස ඉන්දිය යටත්විජිතභාර ලේකම් මැකෝලි සාමි 1835 බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව හමුවේ කළ ප්‍රකාශයක් මෙසේ ය.
"මම ඉන්දියාවේ අස්සක් මුල්ලක් නෑර සැරිසරා ඇත්තෙමි. එක ද සිඟන්නකු හෝ එක ද සොරෙකු හෝ මා එහි දැක නැත. බොහෝ සම්පත් සදාචාරාත්මක වටිනාකම් හා උසස් ගණයේ මිනිසුන් මම ඒ රටේ දැක ඇත්තෙමි. ඒ රටේ අධ්‍යාත්මික හා සංස්කෘතික උරුමය නම් වූ කොඳු නාරටිය නොබිඳ අපට කිසිදාක ඒ රට යටත් කර ගත හැකියයි නොසිතමි. එහෙයින් එරට පැරැණි චිරාගත අධ්‍යාපන ක්‍රමය එහි සංස්කෘතිය වෙනස් කළ යුතුයයි මම යෝජනා කරමි. මන්ද ඉන්දියානුවෝ විදේශීය වූත් ඉංග්‍රීසි වූත් සියල්ල තමන්ගේ දේවලට වඩා මැනැවැයි උසස් යයි සිතත් නම් ඔවුන්ගේ ආත්මාභිමානයත් ඔවුන්ගේ දේශීය සංස්කෘතියත් ඔවුනට අහිමි වී යනු ඇති. එවිට ඔවුහු අපට අවැසි පරිදි සැබැවින් ම පරාධීන වූ ජාතියක් බවට පත්වන්නෝ ය. " (ජාතික ස්වභාෂා කොමිසම අතුරු වාර්තාව)

මෙහි පැවසෙන ඓතිහාසික උරුමය ඉන්දියාවට මෙන් ම අපට ද නොඅඩුව තිබිණි. (විශේෂයෙන් ම ඔවුන් ලංකාව සැලකුවේ ද ඉන්දියාවේ කොටසක් ලෙස බව අවබෝධ කර ගත යුතු ය.) එමෙන් ම මේ උපක්‍රම ඉන්දියාවට වඩා හොඳින් ඊට සැතැපුම් 22ක් දකුණින් පිහිටි මෙරට ක්‍රියාත්මක කිරීමට ආක්‍රමණිකයා සමත් විය. චිරාගත පිරිවෙන් අධ්‍යාපන ක්‍රමය වෙනුවට මිෂනාරි පාඨශාලා ද එමගින් සම්ප්‍රදායික සද්සිරිත් වෙනුවට පරසිරිත් ද අපේ මනසට පොම්ප කරන ලදි. එනම් සංස්කෘතිය උඩුයටිකුරු කළේ ය. එහි ප්‍රතිඵලය ලෙස අප ජාතිය දීන නිවට තත්ත්වයට ඇද වැටිණි.

ඔවුන් අපේක්ෂා කළ පරිදිම අද අපේ දේට වඩා පිට දේ අපි අගයමු. ඒ නිසා අපේ ආත්මාභිමාණය ද සංස්කෘතික උරුමය ද අද අපට අහිමි ය. ආක්‍රමණිකයා රටේ අධ්‍යාත්මික සංස්කෘතික උරුය නම් කොඳු නාරටිය බිඳ දැමීමේ ප්‍රතිඵලය ලෙස අපේ සතුරන් අප අතරින් ම බිහි විය. මේ විපරිතය පිළිබඳ එදිරිවීර සරච්චන්ද්‍ර මෙසේ ලීවේ ය.

"ප්‍රතිචීනීකරණයට හසු වූවෝ බටහිරට ගැති වෙති. බටහිර ආක්‍රමණිකයන්ට හවුල් වෙති. තමාගේ නෑසියන් හට හතුරු වෙති. ඔවුන් අතර විදේශිකයෝ වෙති. මේ සියල්ල සිදු වන්නේ ප්‍රතිචීනීකරණය හේතුකොට ගෙන ඇතිවන මානසික විපර්යාසය නිසා ය. " (මාර්ටින් වික්‍රමසිංහ විමර්ශන-1981)

මේ කුමන්ත්‍රණය මෙරට කෙතරම් හොඳින් ක්‍රියාවට නැගුවා ද යත්
වසර 2000ක් සිංහලයාගේ ගෞරවාදරයට බුහුමනට ලක්වූ ජය ශ්‍රී මහ බෝධිය කපා දමන මිනිසා අප අතරින් බිහි කෙරිණි. ආක්‍රමණිකයාගේ යසෝරාවය වණන 'කුන්ස්තන්තීනු හටන' ලියූ කවියා අප අතරින් බිහි කෙරිණි. මහාවංසයේ තෙවන කොටස බටහිර ගැතිව ලියන්ට යගිරල පඤ්ඤානන්ද හිමි අපේ පන්සලෙන් ම බිහි කළේ ය.

1948 ආක්‍රමණිකයා රට අතැර ගිය ද උන්ගේ ගැත්තෝ අද ද අප අතර ය. මේ හඬ දූතයෝ සිය ස්වාමීන් වෙනුවෙන් අද ද ගැතිකම් කරති. රටට ද්‍රෝහිකම් කරති. ඒ සඳහා කලාව බෙහෙවින් ගණිකා වෘත්තියේ යොදවති. ඒ පිළිබඳ ගුණදාස අමරසේකර මෑතදී මෙසේ ලීවේ ය.

'පසුගිය කාලයේ නිර්මාණය කරන ලද ඊනියා ප්‍රබුද්ධ චිත්‍රපටවලට මේ කාලකන්නි යුද්ධයට අමතරව අන් කිසිවක් විෂය වීද? අමතර වශයෙන් විෂය වූයේ සිය අඹුවගේ හෙලුව පෙන්නා විපරිත ආදායම් ලබන කාමාතුරයන්ගේ මනස ප්‍රදර්ශනය කිරීම වැන්නකි. මේවා අගය කරන ලද්දේ ද මේ රටේ මිනිසුන් විසින් නොව ඩොලර්වලින් යැපෙන ඇන්ජීඕ අමනයන් විසිනුයි. මේවා නිපදවීමට මුදල් දෙන ලද්දේ උන්ගේ හාම්පුතුන් විසිනුයි.මේවා විසින් පෙන්නුම් කරනු ලබන්නේ නව යටත්විජිතවාදී සංස්කෘතික ආක්‍රමණයේ කුරිරු භීසනයයි.' (ඉරිදා දිවයින-2008.07.06)

එහෙයින් අප සවිඥාන විය යුතු කරුණු කිහිපයකි. ආක්‍රමණිකයා ගියාට ඔවුන්ට තුප්පහිකම් කරන්නෝ අප අතර සිටිති. අප තුළ ද සිටිති. ඒ නිසා අපට කො‍කාකෝලා නැතිව කන්න බැරි ය. අරක්කු නැති මඟුල අවමඟුලකි.

අද යටත්විජිත සමයේ මෙන් ඍජු ආක්‍රමණ නැත ද වක්‍රව සූක්ෂම ව එය යෙහෙන් සිදුවේ. එදා ආක්‍රමණිකයා කළ දේ අද ඔවුන්ගේ බත් බැළයෝ කරති. සිදුවූයේ ක්‍රමයේ වෙනසක් පමණි. ක්‍රියාවලියේ වෙනසක් නොවේ. ඒ වනාහි නව සංස්කෘතික ආක්‍රමණයයි. නව සංස්කෘතික යටත්විජිතවාදයයි.

2008-07-17

අම්බලමේ ඉඳලා අපි යමුද නගෝ

සංකල්පනාවට පණ දුන්නේ පණ්ඩිත් අමරදේවයන්ගේ සුමධුර හඬ ය. කුඩා මා තුළ එකල පැනනැඟි කුකුස නම් මේ බඹරා නිරිත දිගින් එන්නේ ඇයි යන්න ය. බඹරාට ප්‍රධාන දිසා හතරින් එන්ට බැරි ඇයි? ඉන්ද්‍ර දිගින් බඹරා ඒ යයි නොලීවේ ඇයි? උතුර දකුණ වයඹ වන් දිශාවලින් එන බඹරකු ගැන ලීව ද කිසිදු මාත්‍රා සංයෝජන ගැටළුවක් පැන නොනඟී. එහෙත් රත්නායකයෝ නිරිත දිගින් එන බඹරෙකු ගැන ලීවාහු ය. අප පසු කලෙක දැන ගත් පරිදි ඒ අන් කිසිවක් ‍නිසා නොව අනංගයා අධිපති නිරිත දිශාවට හෙයිනි.

මහා සිංහල ශබ්දකෝෂය පවසන පරිදි අනංගයා යනු ශරීරයක් නැත්තා හෙවත් සිත්හි රාගික සිතිවිලි ඇති කරන දෙවියා ය. කාම දෙවියා ය. මහැදුරු ඩබ්.එස්.කරුණාතිලක සූරීන් 'පද මඤ්ජරී' නම් මාහැඟි කෘතියේ දක්වන අනංග යන්නට පර්යාය පද මෙසේ ය.>>>




මෙලෙස විවිධ චෛතසික තත්ත්වයන්ට සංකල්පයන්ට ජීවය ආරෝපණය කිරීම අපේ සම්ප්‍රදායේ ලක්ෂණයකි. එමගින් එලිපිට කතා කිරීමට මැළි වන දේ පවා ව්‍යංගයෙන් ප්‍රකාශ කිරීමට අවකාශය ලැබිණි. එපමණක් නොව අපේ සම්ප්‍රදාය තුළ සත්වයා විෂයෙහි නෛසර්ගිකව පහළ වන ලිංගිකත්වයට අනවශ්‍ය රහස්‍යභාවයක් හෝ පූජනීයත්වයක් ආරූඪ නොකෙරිණි. ලිංගිකත්වය උලුප්පා දැක්වීමක් සිදු නොවිණි. එහෙත් ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කළේ ය.සිංහල සාහිත්‍යය විශේෂයෙන් ම සංදේශ කාව්‍යවල ශුංගාරාත්මක වැනුම් බහුල ය. ලිංගිකත්වය හුදෙක් මිනිසාගේ දෛනික ජීවිතයේ තවත් එක් කාර්යයක් පමණක් ම විය. සමීප ඥාතීන් සහ කුල අතර යම් යම් ලිංගික තහංචි තිබුණ ද ඒවා ආරක්ෂා වූයේ රීති පද්ධතියකින් මිස නීතියෙන් නොවේ. සමස්තයක් ලෙස ගත් කල්හි අනවශ්‍ය සීමා බන්ධන නොතිබිණි. ගැමුණු පුත් සාලියට ගාඩි රුහේ අශෝකමාලා අත ගැනීමට හැකියාව තිබිණි. එහෙයින් රොබට් නොක්ස් පවසන පරිදි සූසැට බරණින් සැරසී පංච කල්‍යාණියකට තනි මග රන් කෙණ්ඩියක් හිසින් ගෙන පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුවට නිරුපද්‍රිතව යාමේ භාග්‍ය පෙර දවස මෙරට තිබිණි.

ඉන් ධ්වතින වන්නේ මෙරට රජ දවස නෂ්ටකාමීන් ජීවත් වූ බව ද? නැත. දියුණු සංස්කෘතික හර පද්ධතියකින් සුපෝෂිත විනය ගරුක මානවයෙක් මෙරට ජීවත් වූ බව ය. සිය හැඟීම් සන්තර්පණය කර ගත හැකි විධිමත් ක්‍රමවේදයක් අප සතු වූ බව ය. යමෙක් ඒ සීමා පැන යා නම් ඉන් නිරුපද්‍රිතව ගැළවී යන ආකාරය ද ඔවුන් වෙත සම්ප්‍රදායෙන් උගන්වා තිබිණි. එක් ප්‍රකට නිදසුනක් මෙසේ ය.

තනි මග යන රූමත් ලියක් දුටු තරුණයෙකි. ඔහු තුළ ඈ කෙරෙහි පිළිබඳ සිතක් පහළ විය. හෙතෙම ඇගේ රූපශ්‍රීයෙන් ඇළලී ගියේ ය. මේ සුදේහිනියගේ සීතල පහස විඳින්නට ඇත්නම් යන සල්ලාල හැඟීමෙන් හෙතෙම ආතුර විය. හේ මෙසේ කීවේ ය.

අල්ලා ගෙන නෙරිය අතකින් කිම් ද නගෝ
වසා ගෙන දෙතන අතකින් කිම්ද නගෝ
හිමියා නැති ගමන් තනි මග කිම් ද නගෝ
අම්බලමේ ඉඳලා අපි යමු ද නගෝ

මේ නොහොඹිනා ඇරයුමෙන් ඇය නොසැලුණා ය. උරණ නොවුවා ය. රාගයෙන් උමතු වූ තරුණයා තාවකාලිකව හෝ දමනය කරනු පිණිස ඇය සිය තන්වැසි නුවණ යෙදවූවා ය. මේ ඇගේ පිළිතුර ය.

අල්ලා ගෙන නෙරිය මඩ තැවරෙන හින්දා
වසා ගෙන දෙතන බිලිඳුගේ කිරි හින්දා
බාල මස්සිනා පස්සෙන් එන හින්දා
යන්නම් අයියණ්ඩි ගම රට දුර හින්දා

සිය රාගික සිතුම් දනවනු පිණිස නෙරිය පියයුරු පිළිබඳ පවසන තරුණයා ලජ්ජාවෙන් මුකුලිත කරන ප්‍රකාශයක් නොවෙද මේ? ඈ පවසන්නේ තමා මවක බව ය. එපමණක් ද බාල මස්සිනා ද මග එන්නේ ය. තරුණයාගේ රාගික සිතුම් යට ගොස් ඔද සිඳී යයි. ඇය යහතින් ගමන ගියා ය. එහෙත් ඈ හිරිමල් තරුණියක මිස මවක් නොවූවා ය. ඉතින් ළමැදේ කිරි කොයින් ද? ඈ පස්සේ ආ මස්සිනෙක් ද නැත. ඇය සිය අකමැත්ත පැවසූ ආකාරය සොඳුරු රංගනය මහා විනාශයක් වැළකුවේ ය.

ඒ අතීතයයි. එකල මෙරටට වික්ටෝරියානු සුචරිතවාදය බෝ වී නොතිබිණි. කුප්‍රකට කාන්තා අයිතිවාසිකම් කොම්පැණි ද නොතිබිණි. එහෙයින් අපේ හර පද්ධති උඩුයටිකුරු වී නොතිබිණි.

2008-07-09

මෙහෙව් රටේ

ශ්‍රි ලංකාව ප්‍රමාණයෙන් ව.කි.65 610කි. ඉන් ව.කි. 840ක් ජලාශ ය. දිවයින මෙන් 23 ගුණයක මුහුදකි. කි.මි. 1340ක සුන්දර වෙරළ තීරයකි.මුළු රට ස්වභාවික සම්පතින් පිරුණු ආකරයකි. ප්‍රධාන ගංගා 103කි. සාර භූමියකි. නෙක ගහ කොලින් පලවැලින් සුසැදි සුන්දර පරිසරයකි. සම සීතෝෂ්ණ දේශගුණයකි. කලට ලැබෙන වැසි ය.පොළව තුළ නේක මැණික් ය. ඛනිජ වර්ග ය. තෙල් ය. ඒ සම්පත් උරුම කොට නිපන් අප මුතුන් මිත්තෝ ඉන් ජව ලැබ ලොවක් මවිත කළෝ ය.

අප මුතුන් මිත්තන් එදා මෙදා තුර කළ හපන්කම් කිහිපයක් විමසා බලමු. බුදු රදුන් උපදින්ටත් පෙර පරසිදු ඩැමස්කස් කඩු තනන්ට අප්‍රිකාවට වානේ යැව්වෝ අපේ මිනිස්සු ය. ලොව ප්‍රථම අහස් යානය තැනුවෝ අපේ මිනිස්සු ය. (රාවනා රජුගේ දඬු මොනර හුදු මිත්‍යාවකැයි ඇතැම් උගත්හු බැහැර කරති. පුරාතන -කි.පු.- යුගයේ අහසින් යාම පිළිබඳ සිතීම ද මහා ආශ්චර්යක් බැව් වටහා ගන්ට ඔවුනට ඉඩ නොදෙන බලවේගය කුමක් ද?) අද ද ලොව ගඩොලින් කළ උස ම ගොඩනැගිල්ල තැනුවෝ අපේ මනිස්සු ය. (ජේතවන දාගැබ මහසෙන් රජු කරවූයේ කි.ව.4 වන සියවසේ ය.)

ලොව සැම අත මිනිසුන් ගංගා අසබඩ ශිෂ්ටාචාර තනද්දී අහසින් වට දිය එතැන ම හික්මවා සින්ධූපමාන වැව් තනා එහි ශිෂ්ටාචාර තැනුවෝ අපේ මිනිස්සු ය. බිසෝ කොටුව වන් දියුණු ශිල්ප ක්‍රම භාවිත කළෝ අපේ මිනිස්සු ය. මාදුරු ඔය වේල්ල තනන්ට පැමිණි විදෙස් ඉංජිනේරුවන් මවිත කරමින් මතු වූ සිය වස් ගණනක් ඉපැරණි වේල්ල තැනුවෝ අපේ මිනිස්සු ය. සිය රට ආක්‍රමණය කළ බුරුමය චෝල දේශය ආදී පර දෙස් වෙත ගොස් බැට දුන්නෝ අපේ මිනිස්සු ය.

සඳෙන් ගෙනා පස්‍ පරික්ෂා කළේ අපේ මිනිසෙකි. ලොව සාර්ථකම කෘත්‍රිම පාදය තැනූ තරුණයා අපේ මිනිසෙකි. වතුරින් දුවන වාහන තැනුවෝ ද අප අතර සිටිති. අඟහරු ලොවට ගිය යානයේ කැමරාව තැනුවේ අපේ මිනිසෙකි. දැනට ලොව සාර්ථකම HIV ප්‍රතිකාර ක්‍රමය සොයා ගත්තේ අපේ මිනිසෙකි. සුද්දාගෙන් ක්‍රිකට් හෝඩිය උගෙන එහි කිරුළ ලක් මව් හිස පැළඳුවේ අපේ මිනිසුන් ය. සිව් වරක් දකුණු ආසියාව පරයා ක්‍රිකට් කිරුළ පැළඳුවෝ අපේ මිනිස්සු ය. ජත්‍යන්තර ක්‍රිඩා පිටියේ සිංහ දද නැංවූවෝ මේ පුංචි රටේ මිනිස්සු ය. එවන් විස්කම් කළ අපට කළ නොහැක්කක් නොමැත.

ලොව දරුණුම ත්‍රස්ත සංවිධානය යයි බෞතිස්ම කෙරුණු LTTEට යන එන මං නැති කළෝ අපේ මිනිස්සු ය. අපේ සොහොයුරෝ ය. අද නැගෙනහිර ජය ලැබ වන්නියට ඇදෙන්නේ 2002 කඳවුරුවලට ගාල් කොට තුවක්කුවලට ඉබි යතුරු ලා නිහඬ කොට සිටි ඔවුන් මය. වෙනස් වූයේ නිවැරදි වූයේ නාකත්වය පමණි. රටේ සේනාධි නායකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිවිධ හමුදාවට මැනවින් නායකත්වය සපයයි. ඒ නිවැරදි වීමත් සමග හමුදාවෝ අකුණු සැර සේ රුපුනොද බිඳිති. දිනෙන් දින ත්‍රස්තවාදය මව් බිමෙන් අතුගා දමති. බොහෝ වරදින් පිරි රජයේ ඒ යහගුණය අපි අගයමු. එය හුදු හමුදා සෙබළාගේ පමණක් වික්‍රමයකැයි කියන කුහකයින් අතරට අපි නොවැටෙමු.

එහෙයින් අවැසි වන්නේ මේ මිනිස් සම්පත නිවැරදිව සවිබල ගැන්විය හැකි නායකත්වයකි. රටේ සම්පත් සංවර්ධනය සඳහා මැනවින් කළමනාකරණය කිරීමකි. සෑම සම්පතින්ම සපිරි ගිනි කඳු කාන්තාර හිම කඳු නොමැති මිහිපබට සුරපුර වන් මගේ රට සංවර්ධනය කරා ගෙන යා නොහැකි නායකයෝ සුරපුර වුව අපායේ හෙළනු ඇත්තා හ. එහෙයින් ඔවුන් කිසිවෙකු සඳහා සුරපුර නම් දෙරගුළු නොඇරෙනු ඇත.

2008-07-02

සිනාසී හඬමි -2

කෙසේ වුව ද මෙම ප්‍රකාශය තුළ නොකියැවෙන එහෙත් ගම්‍යමාන අරුතක් ද තිබේ. ඒ ජනාධිපතිතුමා බටහිර කඳවුර වෙනුවට එහි ප්‍රතිපක්ෂය වෙත නැඹුරු වන බව ය. එනම් ඉරානය වෙනිසියුලාව චීනය කියුබාව සරණ යන බව ය. ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය සහ මෑතදී ගන්නා ලද ක්‍රියා මාර්ග සීරුවෙන් විමසීමෙන් මෙහි සත්‍යාසත්‍යතාව දැනගත හැකි ය. ජනාධිපතිතුමා පවසන්නේ බටහිර සරණ ගොස් පලක් නැති බව මිස කිසිවෙක් සරණ ගොස් පලක් නැති බව නොවේ.

මේ ප්‍රකාශය අඩු මිලට තෙල් ටික සිඟා ගැනීමට අහමද් ඉන්නීජා ජනපති රැවටීමට දැමූ ඇමක් දැයි අප දන්නේ නැත. කෙසේ වුව ද අප අවබෝධ කර ගත යුත්තේ කිසිවෙක් සරණ ගොස් පලක් නැති බව ය. තම හිසට සෙවණ තම අතමැ බව ය. බටහිර සරණං ගච්ඡාමි කියා පලක් නොවන බව වටහා ගන්ට වසර 60ක් ගිය රටේ දේශපාලන නායකත්වයට මේ ටික අවබෝධ වන්ට කොතෙක් කල් යා ද? ඉරානය වෙනිසියුලාව චීනය වියට්නාමය රුසියාව ආදී සියලු රටවල් දියුණු වන්නේ සිය රටේ ශක්තිය මත විශ්වාසය තබා සියලු බලවේගවලට මුහුණ දෙමින් උඩුගං බලා පිහිනීමෙනි. එසේ නොමැතිව පරදේශවල පිළිකනු පල්ලේ ළගිමින් ඇමරිකාවේ සහ යුරෝපා සංගමයේ රූකඩ වන ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නැටීමෙන් නොවේ.



මම ද අධිරාජ්‍ය විරෝධියෙක්මි. එහෙයින් ධනවාදය ලිබරල්වාදය ආදී එහි සියලු මුහුණුවරවලට එරෙහිවෙමි. ඊට එරෙහි වන්නන් හා එක්වෙමි. සමාජවාදී වෙළඳ පොළ අර්ථක්‍රමයක් කෙරෙහි විශ්වාසය තබමි.ඒ නිසා පෙර සඳහන් කළ රටවල් දෙපයින් නැගී සිටින්ට දරන උත්සහය අගයමි. අප ද ඒ මග ගත යුතු බව අදහමි. එහෙත් රටක් ලෙස තීන්දු ගැනීමේදි සුපරික්ෂාකාරි විය යුතු ය.

විශේෂයෙන් අදූරදර්ශි පාලනය නිසා බිඳ වැටුණු අප වන් රටවලට එකවර චීනය රුසියාව ඉරානය මෙන් ඍජු දරදඬු තීරණ ගත නොහැකි ය. මේ වන විට අප යැපෙන්නේ විදේශාධාරවලිනි. ඇඟලුම් කෝටා අහිමි වුවහොත් ලක්ෂ ගණනක් මහ පාරේ ය. ඇල් පෙනෙත්තක් නොනිපදවන රටේ යුද්ධ කරන්නේ ඊශ්‍රායලය චෙක් ජනරජය වැනි රටවලින් මිලට ගත් අවිවලිනි. ඉරානය වන් ඊශ්‍රායලයේ පසමිතුරු රටවලට සමීප වීමේදී එහෙයින් අප වඩාත් සැලකිලිමත් විය යුතු ය.

පන්සිය වසරක් මගේ රට සුරා කෑ මැරයා ගැන මා තුළ පැහැදීමක් නැත. එහෙයින් ඔවුන් විසින් අපට කරන ලද විනාශය විවිධ පැතිවලින් විග්‍රහ කරමි. එමෙන්ම ඒ මහා සූරාකෑම පහසු කර ගනු සඳහාම වුව රට පුරා රේල්ලුව ව්‍යාප්ත කරන ලද බව ද මහා මාර්ග ජාලයක් සැකසූ බව ද කිව යුතු ය. 1948 ආක්‍රමණිකයා රට හැර යන විට ආසියාවේ ආර්ථික සමෘද්ධිය අතින් අපට ඉහළින් සිටියේ ජපානය පමණි. ඒ ද ඩොලරයකිණී. එදවස ජපානයේ ඒක පුද්ගල ආදායම ඩොලර් 89කි. ලංකාවේ 88කි. 1953 රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් ණය ප්‍රමාණය 9.7%කි. අද 105%කි. එහි අරුත අපේ මුළු ඉපයුම් ප්‍රමාණයට වඩා ණය ප්‍රමාණය වැඩි බව ය. අප උපයන සෑම රු. 100ක් ම තවත් රු. 5ක් සමග ණය පියවීමට යැවිය යුතු බව ය. මේ රටට ආක්‍රමණිකයා මෙන් ම විනාශයක් අපේ පාලකයන් ද කර තිබන බවට තවත් සාක්ෂි කුමට ද? 1977 ධර්මිෂ්ට සමාජය නමැති සුරුවමේ ඔතා විවෘත ආර්ථිකයට රට බිලි දුන් පුණ්‍ය පිතෘට පිං සිදුවන්ට අද උද්දමනය 30%ට මදක් අඩු ය. 1975 එය 5%කි.

මේ සියල්ලෙන් ගම්‍යමාන වන්නේ පරදේශ පසුපස යාමෙන් පලක් නොවන බව ය. අහමද් ඉන්නීජා සමග ඡායාරූප ගෙන මග දෙපස තොරණ ගැසීමෙන් පලක් නොවන බව ය.අප ද අපේ රටේ ශක්තිය මත විශ්වාසය තබා ඉදිරියට යා යුතු බව ය. එහෙත් ඒ බව පාලකයන් මැනවින් තේරුම් ගත් බවෙක් නම් නොපෙණේ. සැබවින්ම ඒ ගැන සිතන විට නාඬා බැරිය. එහෙයින් හඬමි.