2008-02-27

ගැහැනු ළමයිනේ




ඒ නවම් හෙවත් පෙබරවාරි මස ය. 18 වන දිනය.කොළොම්තොටින් හිරු
නැව් නගිත්ම රසික ජන ගඟ සිව් දිගින් ජෝන් ද සිල්වා සමරු රඟහල
වෙත ගලන්නට විය. නොබෝ වේලාවකින් රඟහල පිරීතිරීයයි. රොද බැඳි
ජනගඟ දොර කවුළුවලින් දෝරේ ගලයි. ඇඟිලි තුඩු මතට නැඟුනෝ
පොදියට උඩින් රඟහලට එබෙන්නට තතනති. පිග්මියෝ ජන පොදි අතර
කුරුබිලි සොයති. විය සිදුරින් අහස බලන්නට සැරසෙති. දස දෙසින්
ඇදෙන මහා ජන මහෝඝය නම්මන්නට සංවිධායකයින් දරන උත්සාහය
අත් පසුරින් සුළං බැදීමට නොදෙවෙනි ය. මොහොතකින් ප්‍රතිරූපණ
දසුනක් ගෙමිදුල සවි කෙරෙයි. සජීවි දසුන් ගලා එයි. පන්සිළු මිහිබට
වැන්න; එතැන් පටන් ගෙවුණු සොදුරු සුයාම ය.

දෙව්රම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ අමා දහර ගඟ ගලා ගිය අරුමය
ද බුදු හාමුදුරුවෝ අපිත් දුටු බව ද ගැයූ බොදු ගී හඬ ඔබට මතක ද?
ආදරයේ උල්පත වූ අම්මා ගැන ද අම්මා නැති මට කිරි අම්මා වූ
සොයුරිය ගැන ද ගැයූ දයාබර හඬ ඔබට මතක ද? මීන නුවන් යුගෙන්
බලන්නට මීනාට ඇරයුම් කොට අපි ඈතින් ඈතට පිය නඟමුයි මිමිණු
ප්‍රේමනීය හඬ ඔබට මතක ද? සිහින සතක දුටු ආශා නිරාශා මැවූ
ස්වප්න මායාවට අහිමි වුණත් නුඹ ළඳේ මට හඬන්ට අවසර නැතැයි
ගැයූ සෝබර හඬ ඔබට මතක ද? තුන් සිංහලය ම නෑදෑයන් කොට
මුරකාවල් නැති වැට කොටු බැමි නැති ලොවක් පැතූ අසිරිය ඔබට
මතක ද? ඒ අන් කිසිවකු නොව වික්ටර් රත්නායකයෝ ය. මහාචාර්ය
කාලෝ ෆොන්සේකාගේ වදන්වලින් පවසතොත් සිංහල ගීතයේ
යුව රජු ය.

ඉකුත් දා රත්නායකයෝ සිය ජීවිතයේ සුවිශේෂ සංධිස්ථාන කිහිපයක්
සනිටුහන් කළ හ. හෙතෙම දිවි මගේ 66 වන වියට පිය නැඟුවේ ය.
කලා දිවියට 45 වසරකි. දෙස් විදෙස්හි දහස්වරක් එළිදැක්වූ 'ස'
ප්‍රසංගයට වසර 35 කි. මේ සියල්ල සුභාවිත සිංහල ගීතයේ ගමන්
මගෙහි රන් අකුරින් ලියැවෙන දේ ය. ඒ වෙනුවෙන් 'සියත FM'
ගුවන්විදුලිය වික්ටර් රත්නායකගේ ප්‍රේම ගීතාවලියක් 'ගැහැනු ළමයිනේ'
නමින් රසික දෝතට තිළිණ කළේ ය. එය සැබවින් ම කතරට වට
සිසිල් පැන් පොදකි. ගීතයයි බෞතීස්ම කොට කැසට් මුදලාලිලා
අතිබහුතරයක් FM නාළිකා ඔස්සේ විසි කරන අදෝනා නිසා ඔද්දල් වී
සිටින සහෘදයාට මේ නම් අමෘතයකි. කොවුල් හඬයයි සිතාන කපුටු
හඬට පෙම් බඳින අයට ද මේ ගී ඇසීමෙන් අප ද සංගීතය නමැති
රුකෙහි හටගත් මියුරු ඵල රස වින්දෙමියි ප්‍රමුදිත විය හැකි ය.
නැතහොත් ඒ මියුරු රස නොවිඳම මියෙන බහුතයට එක්විය හැකි ය.
මන්ද යළි එවන් නිර්මාණකරුවෝ බිහි නොවනු ඇත. වික්ටර් රත්නායක
යනු ඉන්දිය රාගධාරී සංගීත සම්ප්‍රදාය සහ දේශීය ජන සංගීත
සම්ප්‍රදාය අතැඹුලක් ‍සේ උගෙන විටෙක පෙර'පර දෙදිග සංගීත
සම්ප්‍රදාය සමග සුහද වෙමින් ද තවත් විටෙක එය අතික්‍රමණය
කරමින් ද නිර්මාණකරණයේ යෙදෙන විශ්මජනක සංගීතවේදියෙකි.
එය නිරන්තර අධ්‍යනයෙන් සහ සතතාභ්‍යාසයෙන් ගොඩනගා ගත
යුතු ශක්‍යතාවකි.ප්‍රතිභාවකි. නූතන වෙළඳ කුළය නවකයින්ගෙන්
ඒ අවස්ථාව පැහැර ගෙන ඇත. කෙසේ ද? මල් කැකුළු වන්
යෞවනය බලෙන් පුබුදුවා එක් රැයකින් සුපිරි තරු නමින් වල්ගා
තරු බවට පත් කොට විනාශ මුඛයට ඇද දැමීමෙනි. සිය පතේ
රම්පේ කරපිංචා බවට රටේ තාරුණ්‍යය පත් කරගැනීමෙනි. මේ
නිසා ශාස්ත්‍රය හැදෑරීමට ඔවුන් තුළ තිබිය යුතු නිහතමානීත්වය
නැති වෙයි.තමුන් දැනට ම සුපිරි තාරකාව බැවින් නැවතත්
ශාස්ත්‍ර හදාරන්නේ කුමට ද? තමුන්ට වඩා දන්නේ කවු ද?
ඉදින් මේ අය මණ්ඩුකයින් මෙන් පිම්බි පිපිරී විනාශව යති. උඩ
ගිය මෙරුන්(ආවගියෝ)සේ ම වනසට පත් වෙයි.සංගීතය
ක්‍ෂේත්‍රයට වන මෙහෙයක් නැත. එසේ යමක් කළ එකදු තරුවක්
ඇත් ද? මාධ්‍ය මුලින් තරු බව කී අය වෙනුවට එතැන අලුත් තරු ය.
පරණ තරු ආගිය අතක් නැත. අලුත් තරුවලට ද උරුම ඒ ටිකම ය.
අන් සියලු දේ සේ ම මේ තරු උමතුවේ ප්‍රතිඵල ද බහුතරය
තේරම්ගන්නේ අශ්වයා පැන ගිය පසු ය. එවිට සුපුරුදු පරිදි ඉස්තාලය
වසා දමා මුරකාවල් ද යොදනු ඇත. එතෙක් 'කැළයේ පිපී
කැළයේ ම පරවෙන මල් කැකුළු අප සමාජගත කළෙමු' යන
මුදලාලි මුසාවාදය මානසික ආහාරය කර ගනිමින් ජීවත්
වන්නට රටේ බහුතරය සූදානම් ය. එය සමාජගත කරන්නට
මිලදී ගත හැකි විශාරදවරු අහිනක් ද මෙරට සිටීම අවාසනාවකි.

කෙසේ වුව ද මේ විෂම ක්‍රියාවලියේ අවසනාවන්ත ගොදුරු බවට
අපේ පරපුර ද පත්වී හමාර ය. අපේ පරම්පරාවට ප්‍රේම ගීතයක්
ඇසීමට අමරදේව, වික්ටර්, අමරසිරි, සනත්, කපුගේ, ටී.එම්.,
ජෝතිපාල, බෙග් ,මිල්ටන් ආදී වයෝවෘද්ධ ගාන්ධර්වයන් වෙත
යාමට සිදුව ඇත්තේ ඒ නිසා නොවෙ ද? අපේ දෙමාපියන්ට පෙම්
ගී ගැයූ ඔවුන්ට ම එකී ප්‍රේමයන්හි මල් සම්පත වන අප වෙනුවෙන්
ද පෙම් ගී ගයන්නට සිදුව ඇත.(අපේ මුත්තලා අපට පෙම් ගී
ගයන්නේ අපේ පරම්පරාව ගොරහැඩි පෙම්වතුන් වූ නිසා ද?) අතීත
ගීතවල සර්වකාලීන අගය ඉන් මූර්තිමත් වුව ද අලුත් පරපුරෙහි
වඳභාවය ද ඉන් ප්‍රකට නොවේ ද? සුපිරිතරු අත සිංහල ගී කෙත
පුරන් වී ගොස් ඇති බව නොවෙද ඉන් ගම්‍ය වන්නේ? කසුන්
කල්හාරට පසු මේ ක්‍ෂේත්‍රයට කඩා පාත්වුණු කිසිවෙකු අවම
ප්‍රතිභාවක්වත් නොදක්වන්නේ ඇයි? නොදනිමි කාගේ දොසා?
සියල්ල විකිණෙන සමාජයේ තනි තනිව උඩුගං බලා පිහිනනු විනා
කළ හැක්කේ කුමක් ද? මේ දුෂ්ට ක්‍රියාවලිය අවසන 2වන සේන
රජු සියබස්ලකරේ පැවසූ ආකාරයේ කලා පරපුරක් බිහිවනු ඇත.
ගවයින්ගේ වාසනාවට මේ අය තණ නොකනු ඇත. කිසිදු කාලාත්මක
හැඟීමක් නොමැති අසංවේදී පිරිහුණු ආධ්‍යාත්මයන් සහිත මිනිස්
රෝබෝවරු ද බිහිවනු ඇත. සියබස්ලකරකරුට නැවත සවන් දෙමු.

'මෙතුන් ලෝ සියල්
ඉදි සද වැටුප් රස් රැස්
නොදිලියෙක ද බව් දා
තම කඳ නොකල්තායෙන්'

(එහෙයින් ශබ්ද නමැති රෂ්මි කරණකොට ගෙන ලෝකය නොබැබළේ
නම් සකල ත්‍රිවිධ ලෝකය ම යුගාන්තය දක්වා මෝහාන්ධකාරයෙන්
අන්ධකාර වේමැයි.)ශබ්ද නමැති රෂ්මි යනු ශික්ෂිත ශබ්දයයි.
කර්ණරසායන ශබ්දයයි.එනම් සුභාවිත සංගීතයයි.ගීතයයි. එයින් තොර
කල්හි සකල ලොව මොහදුරින් අදුරු වෙයි. මේ මෝහාන්ධකාරයෙන්
(මෝඩකම නම් අදුරින්) ගැළවියන්නේ කෙසේ ද? වඩා හොඳ දේ
තෝරා ගෙන රස විඳින්නට ඔබ හුරු විය යුතු ය. ඒ සඳහා හොඳ
දේ සොයා යාමට ඔබට සිදුවනු ඇත. මන්ද තිරිවානා මෙන් මැණික්
සුලබ නැත. යහපත් දේ රස විදින්නට ඔබේ සමීපතමයන් පෙළඹවිය
යුතු ය. එමගින් පමණි; මේ අතවරයෙන් ගැලවිය හැක්කේ. ඒ
වෙනුවෙන් අදුරට ශාප නොකර එක් පහන් සිලක් දල්වාලූ මොහාන්
රාජ් මඩවල ප්‍රමුඛ සියත නාළිකාවට ද CIFL රක්ෂණ ආයතයට ද
කෘතවේදී වෙමි. එම ගීතාවලිය ටොරානා ලේබලය යටතේ දැන්
වෙළඳපොළට පැමිණ තිබේ. ‍සදාකාලික යෞවනයට පූජා කළ වික්ටර්
රත්නායකයන්ගේ ප්‍රේම ගීතාවලිය රස විඳින්නට ඔබට ආරාධනා
කරමින් ඔහුගේ සුන්දර විරහි ගී පදයකින් ම මේ සටහනට
කුණ්ඩලිය තබමි.

අහිමිවුණත් නුඹ ළඳේ
මට අඬන්න අවසර නෑ..//
වෙලෙන් එහා ඉඳ
නුඹේ සුවඳ වත
එතී ආ සුළං මගෙ මුව සිම්බා
අහිමියවුණත් නුඹ...
(ගී පද-ගාමිණි ෆොන්සේකා)

2008-02-22

ජාත්‍යන්තර භාෂා වසරයි සිංහලයයි




කලක සිට එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත යුනෙස්කොව ජාත්‍යන්තර දින සහ වසර නම් කරයි. ජාත්‍යන්තර සංස්කෘතික උරුමයන් පිළිබඳ වසර (2002) ජාත්‍යන්තර උස්බිම් වසර (2002) ජාත්‍යන්තර පිරිසිදු ජල වසර (2003) ජාත්‍යන්තර වහල් සේවයට එරෙහි අරගලය සහ වහල්භාවය අහෝසි කිරීම සැමරුම් වසර (2004) ජාත්‍යන්තර ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන වසර (2005) ඉන් කිහිපයකි. මෙහිදී අපට එක්වර ම පෙනී යනුයේ එකී සෑම ක්‍ෂේත්‍රයක් ම කිසියම් අර්බුදයකට ලක්ව ඇති බව ය. බොහෝ විට මානව ක්‍රියාකාරීත්වය ඒ සඳහා අහිතකර ලෙස බලපා ඇති බව ය. වසර 2000 සිට සෑම වසරක ම පෙබරවාරි 21 'ජාත්‍යන්තර මව් භාෂා දිනය' ලෙස නම් කළ එක්සත් ජාතීන් 2008 'ජාත්‍යන්තර භාෂා වසර' ලෙස නම් කිරීමේ වැදගත්කම විග්‍රහ කළ යුත්තේ මේ පසුබිමේ තබා බව මගේ වැටහීමයි.

අතීතයේ සිට ම භාෂාව පදනම් වන සමාජ ආර්ථික සංස්කෘතික ජීවිතයේ අරටුව විග්‍රහ කිරීමට බුද්ධිමතුන් උත්සාහ කළ බව ද මෙහිලා (මේ වසර භාෂා වසර ලෙස නම් කිරීමට) එකී උත්සාහය බලපෑ බව ද යුනෙස්කෝ අධ්‍යක්ෂ කොයිසුරෝ මත්සුරා මහතා ජාත්‍යන්තර මව් භාෂා දින විශේෂ පණිවිඩය නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය. ලොව භාවිත වන භාෂා 6700න් 50%ට වඩා මිහිපිටින් අතුරුදහන් වීමේ අවදානමක් පවතින බව ද සෑම සති 2ට ම එක් භාෂාවක් ලොවට අහිමි වන බව ද වැඩි දුරටත් සඳහන් විය. එපමණක් නොව ලොව භාෂා අතරින් 90%ක අතිබහුතරය ව්‍යවහාර කරන්නේ ලෝක ජනගහනයෙන් 4%ක් තරම් සුළු ප්‍රතිශතයකි. මේ අනුව 2008 ජාත්‍යන්තර භාෂා වසර ලෙස නම් කිරීම විශ්ව භාෂා අද දවසේ මුහුණපා ඇති අභියෝග හදුනා ගැනීම සහ ඊට විසදුම් සැපයීමේ අරමුණින් සිදු කළ දෙයක් බව පෙනී යයි. අද දවසේ, භාෂා මිහිපිටින් තුරන් වී යාමේ අවදානම ද මූලික වශයෙන් ගෝලීයකරණයේ අනිටු ඵලයක් ලෙස හදුනා ගත හැකි ය.

අප කැමති වුව ද අකමැති වුව ද වත්මන් ලෝකය ගෝලීයකරණ ව්‍යාපෘතිය තුළ කරවටක් ගිළි ඇත. ගෝලීකරණය යනු සන්නිවේදනය තොරතුරු තාක්ෂණය ප්‍රවාහනය යන ක්‍ෂේත්‍රවල දියුණුවත් සමග මානව සබඳතා වර්ධනය වී ලෝකය ආර්ථික දේශපාලන සංස්කෘතික වශයෙන් සමීපවීමයි. මෙම සමීපවීම බලවත් ජාතීන්ට වාසිදායක අයුරින් ද සෙසු ජාතීන් නොයෙක් අයුරින් සූරා කෑමට පහසු අයුරින් ද සැකසුනකි. එය අප කරා ගලා එන්නේ ද හුදු තාක්ෂණික දියුණුව ඉක්මවා ගිය ස්වරූපයකිනි.එසේ ම ආක්‍රමණකාරි ලිබරල් ධනවාදය විශ්ව ව්‍යාප්ත වී ඇති සමාජයක එය අනීවාර්ය සංසිද්ධියකි. එහෙයින් ගෝලීයකරණයෙන් පළායාමට උත්සුක වනු වෙනුවට ඒ තුළ සිට උඩුගම් බලා පිහිනීමට සූදානම් විය යුතු ය. බුදු රජුන් දෙසූ පරිදි අසාරයෙන් සාරය වෙන් කර ගැනීමට අප හුරු විය යුතු ය.

අද දවසේ මිහිපිටින් භාෂා තුරන්වී යාමේ අවදානම අපට අදාළ නොවන නොවැදගත් කරුණ කැයි ඉවතලිය හැක්කක් නොවේ. මහාචාර්ය ජේ.බී.දිසානායක මහතා පවසන පරිදි තිස්සමහාරාමයේ වට්ටක්කා විකුණන පියදාස ගොයියාලා සිටින තුරු සිංහලය වඳ නොවෙතැයි නිහඬව සිටින්නට ද කාලය නොවේ. වාග් විද්‍යාවට අනුව සියලු ආකාරයේ භාෂා පරිහානි ද භාෂා පරිණාමයට බැර කෙරෙන විකෘති විග්‍රහ සඳහා කාලය නාස්ති කළ යුතු ද නොවේ. කළ යුතු එක ම දෙය ගෝලීයකරණය හමුවේ සිංහල බස මුහුණ දී ඇති අභියෝගය හදුනා ගැනීම ය.

අද වන විට සමස්තයක් ලෙස රටේ අධ්‍යාපන ක්‍රමය ශීඝ්‍රයෙන් ඉංග්‍රීසි මාධ්‍යකරණය වෙමින් පවතී. විශ්ව විද්‍යාලවලින් ඇරඹි එය පාසැල් ඔස්සේ පෙර පාසැලට ද රිංගා අවසන් ය. ළමයෙකුට සිය මූලික අධ්‍යාපනය මව් බසින් ලබා දිය යුතුය යන වැදගත් මනෝවිද්‍යාත්මක සංකල්පය ද මෙහිදී නොසලකා ඇත. අනෙක් අතට රට පුරා හතු පිපෙන ගාණට ජාත්‍යන්තර පාසැල් බිහි වෙයි. ඒවා සම්පූර්ණයෙන් ඉංග්‍රීසි මාධ්‍යය පාසැල් ය. මේ ක්‍රියාදාමයට සාපේක්ෂව සිංහල භාෂාව දිනෙන් දින අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ නොසැලකිල්ලට ලක් වෙමින් පවතී. රටේ ක්‍රියාත්මක පෞද්ගලික ව්‍යාපාර සහ බහුජාතික සමාගම්වලට අවශ්‍ය ඉංග්‍රීසි මාධ්‍ය උගතුන් බැවින් දෙමාපියෝ ද සිය දරුවාට උසස් ඉංග්‍රීසි දැනුමක් මිස සිංහල දැනුමක් ලබා දීමට උත්සුක නොවෙති. මේ ක්‍රියාදාමය නොනවත්වා සිදුවුවහොත් සිංහල භාෂාව ද නොබෝ කලකින් කුස්සියේ භාෂාව හෝ තිස්සමහාරාමයේ පියදාස ගොයියාලාගේ භාෂාව බවට පත්වනු ඇත. වැදි භාෂාව මෙන් එක්තරා පසල් දනව්වකට සීමා වනු ඇත.

ආසියාවේ ඉහල සාක්ෂරතා ප්‍රතිශතයක් අපට හිමි බව නොයෙක් වාර්තාවලින් කියවේ. එහෙත් එකී සාක්ෂරතා නිර්ණායකයේ පදනම කුමක් ද? යාන්තමට සිය අත්සන තැබිය හැකි පුද්ගලයා ද ඊට අයත් ය. අනෙක් අතට සමාජයේ වාග් කෝෂය වේගයෙන් පටු වෙයි. භාෂාව සතුව විශාල වචන මාලාවක් තිබුණ ද දිනෙන් දින එම වචන භාවිතයෙන් ඉවත් වෙයි. සිතීමේ උපකරණය භාෂාව යයි ඇරිස්ටෝටල් පඬිවරයා වරක් ප්‍රකාශ කළේ ය. යමෙක් සිතන්නේ ද සිය සංස්කෘතිය අවශෝෂණය කර ගන්නේ ද මව් බසින් බව පැවසෙයි. මේ අනුව යමෙකුට සිය මව් භාෂාව අහිමි වීම සමග සංස්කෘතිය ද අහිමි වෙයි. සිතීමේ උපකරණය ද අහිමි වෙයි. එවිට බිහි වන්නේ මිනිස් යන්ත්‍ර මිස මිනිසුන් නොවේ. ඔවුන්ට කළ හැකි එක ම දෙය පුනරුච්චාරණය සහ අනුකරණය පමණි. ඒ ටික නම් ගිරවුන්ට සහ වදුරන්ට ද කළ හැකි ය.මේ වන විට ද ඉංග්‍රීසි මාධ්‍යයෙන් උගෙන විශ්වවිද්‍යාලවලින් පිටවන බොහෝ දෙනාට නිවැරදිව සිය බසින් අදහස් ප්‍රකාශ කිරීමේ ශක්තියක් නොමැත. මෙහි දී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාව 10%ක් බව ද සෙසු අය කතා කරන්නේ සිංහල බව ද පවසා ඇඟ බේරා ගත නොහැකි ය. එම 10% ට මෙරට බුද්ධිමතුන් උගතුන් බහුතරය අයිති ය. රටේ දැනුම බෙදා හැරීමේ ආධිපත්‍යය දරන්නේ මේ අය ය. නව දැනුම සමග ගනුදෙනු කරන්නේ මේ අයය. එකී දැනුමට සිංහල භාෂාව විවෘත නොවීම නිසා භාෂාවේ ශක්‍යතාව උපයෝගීතාව හීන වෙයි. අලුත් සංකල්ප ඒ හා ස්පර්ශ නොවන නිසා නව වදන් බිහි නොවේ. කලක් යන විට සිංහලය කටු ගෙයි තැබිය යුතු එකකැයි ඊළඟ පරපුරට හැඟී යනු නොඅනුමාන ය. එහෙයින් සිංහලය නූගතුන්ට පවරා උගත් අප ඉංගිරිසියෙන් ම ක්‍රියා කරම්හයි සිතීම සුබදායි නොවනු ඇත.

කෝට්ටේ යුගයේ අවසන ද මේ ආකාරයෙන් ම විවිධ බලපෑම් මත උගතුන් ද්‍රවිඩ ආදි වෙනත් භාෂා වැළඳ ගැනීම සහ මව් බස නොතකා හැරීම නිසා සිංහලය සාමාන්‍ය ජනතාවට සීමා වූ බසක් බවට පත් විය. සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා භාවිත වන්නේ භාෂාවේ ඉතා ම සුළු කොටසක් පමණි. එමෙන් ම ඔවුන් ලේඛනය භාවිත නොකරයි. මේ නිසා භාෂාවේ වර්ධනය ඇණහිටී අතර සිය වස් කිහිපයක් නව දැනුම සමඟ මුහු නොවූ සිංහලය කෙතරම් කටුක ගොරහැඩි එකක් වීදැයි 19 සිය වස අග 20 වන සිය වස මුල ප්‍රබන්ධ සහ පුවත්පත් වාර්තා කිහිපයක් කියවීමෙන් අවබෝධ කර ගත හැකි ය. පරිහානිය වඩාත් හොඳින් හදුනා ගැනීමට එම භාෂාව සැලළිහිණීයේ බස සමග සසදන්න. කෝට්ටේ යුගයේ ඕනෑ ම අදහසක් ප්‍රකාශයට පොහොසත් සරළ සුකොමළ බුහුටි බසක් වූ සිංහලය නොබෝ කලකින් ගොත ගහන බිහිරි මහල්ලෙකුගේ තත්ත්වයට පත් වූයේ කෙසේ ද? මොට්ට වූ කඩුවක් වන් එම බස වත්මන් අදහස් පැවසීමට උචිත තියුණු සැතක් ලෙස මුවහත් කරන්නට අපේ භාෂා ප්‍රේමීන් කරන ලද මහා අරගලය පසක් කර ගන්නට මාර්ටින් වික්‍රමසිංහගේ ලීලා සෝමා මිරිඟු දිය ආදී කෘති කියවා ගම්පෙරළිය කියවිය යුතු ය. අප අද ව්‍යවහාර කරන භාෂාව මේ තත්ත්වයට නැවත ගෙන ඒමට දශක කිහිපයක් ගත විය. ඒ භාෂාවෙන් ලොව ඕනෑ ම නවීන සංකල්පයක් අපට ප්‍රකාශ කළ හැකි ය. ලේඛනගත කළ හැකි ය. අපේ යුතුකම වන්නේ එවන් සශ්‍රීක භාෂාව අපේ අනාගත පරපුර වෙත එහි ඔද තෙද නොසිඳ දායාද කිරීමයි. ඒ ඔස්සේ අපේ සංස්කෘතික උරුමයෙන් ඒ පරපුර පෝෂණය කිරීමයි.

විශ්වීය වශයෙන් කෙරෙන බලපෑම්වලට අමතරව මධ්‍ය විසින් ද භාෂාව විශාල වශයෙන් අවභාවිතයේ යොදවයි. ඉංග්‍රීසි සිංහල මිශ්‍ර භාෂා භාවිතය, වැරදි ව්‍යවහාර, වියරණ රීති බිඳීම මෙහිලා ප්‍රමුඛ වෙයි. මෙකී සියලු ආකාරයේ භාෂාමය පරිහානිවලට විරුද්ධව ක්‍රියා කිරීමට විද්වත් සමාජය මේ වන විටත් පෙරමුණ ගෙන ඇත. විමල් ජී. බලගල්ලේ, ඩී.එෆ්. කාරියකරවන, සුචරිත ගම්ලත්, කරුණාරත්න අමරසිංහ, පණ්ඩුල ඇඳගම සුමින්ද සිරිසේන ආදී විද්වත්හු 'භාෂා ප්‍රේමී සංධානය' තුළින් ද අගලකඩ සිරිසුමන හිමි, ගුණදාස අමරසේකර, ටියුරන්ස් නන්දසාර,වෝල්ටර් මාරසිංහ, සිරිල් එඬේරමුල්ල, ඒ.ජේ.රුහුණුහේවා, ලීලානන්ද ගමාච්චි ආදී සුධීහු 'ජාතික ස්වභාෂා කොමිසම' තුළින් ද සුවිසල් කාර්යභාරයක් ඉටුකරමින් සිටිති. මේ ව්‍යාපාර බසි'සුරු කුමාරතුංග මුනිදාස‍ ප්‍රමුඛ 'හෙළ හවුල' දෙස බලා සිය මග සකසා ගත යුතු ය. දශක කිහිපයකට පෙර හෙළ හවුල අතින් වූ යම් යම් වැරදි නිවැරදි කර ගෙන ඉදිරියට යාම සිංහල භාෂාවේ චිරස්ථිතිය පණිස ම වනු ඇත.

මේ ව්‍යාපාරය සඳහා ව්‍යාකරණඥයින්ට නිර්මාණකරුවන්ට සෑම ක්‍ෂේත්‍රයක් ම නියෝජනය කරන භාෂා ප්‍රේමීන්ට දායක විය හැකි ය. එහෙත් වාග් විද්‍යාඥයාට එය කළ හැක්කක් නොවේ. බටහිර වාග් විද්‍යාවෙන් ඔහුට උගන්වා ඇත්තේ භාෂාව පරිණාමය වන බව පමණි. පරිහානියක් ගැන එහි නොකියවේ. එමෙන් ම ඔහුට භාෂාවේ පවතින තත්ත්වය විග්‍රහ කරනු විනා භාෂාව මෙසේ විය යුතුයයි කීමට නොහැකි ය. භාෂා ප්‍රේමය යන සංකල්පය ද ඊට පටහැනි ය. ඔවුන්ගේ විග්‍රහයට පාදක වන්නේ ද කථන භාෂාව පමණි. සැබවින් ම මගේ අදහස නම් වාග්විද්‍යාවේ මූලික අරමුණ ස්වදේශීය භාෂා දෙවන භාෂාවක් ලෙස හදාරන්නන්ට යටිතල පහසුකම් සැපයීම බව ය. එමගින් ස්වභාෂකයන්ට ලද හැකි දෙයක් නැත. තිබුණ ද මුල් අරමුණට සාපේක්ෂව නොතැකිය යුතු තරම් සොච්චමකි. කෙසේ වුව ද එක්සත් ජාතීන්ගේ පණිවිඩය දේශීය වාග්විද්‍යාඥයින් සිය විෂය ක්‍ෂේත්‍රය පිළිබඳ යළි සිතන්නට පොළඹවනු ඇතැයි සිතමි. අප වන් රටවලට අවැසි වාග්විද්‍යාඥයින්ට වඩා ව්‍යාකණඥයින් සහ භාෂා ප්‍රේමීන් ය. විද්‍යෝදය විද්‍යාලංකාර ගුරුකුළ, කුමාරතුංගයන්ගේ හෙළ හවුළ ප්‍රමුඛ 19 වන සියවසේ ඇරඹි භාෂා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ නියමුවෝ 'භාෂාවේ සැටි මෙසේය, අපේ කටයුතු ඉන් අහවරයයි' නිහඬ වී නම් මෙසේ ඔබ අමතන්නට සුගම බසක් මට නොලැබෙනු ඇත.

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී
හිඟා කෑම බැරිවුණු දා ලගී ගයා මර ගී
ගැමි වහරින් හද පොපියන අරුත් රසය නොහැඟී
මහ දද දන ගණ උපදින කලැ පරදෑ අනගී
(කුමාරතුංග මුනිදාස-විරිත් වැකිය)

2008-02-13

සී.ස.මානව හිමිකම් පෞද්ගලික සමාගම ?





යමෙක් මානවයකු ලෙස උපත ලැබීම නිසා ම හිමි වන වරප්‍රසාද
සමූහයක් ඇත. ඒවා මානව හිමිකම්,මානව අයිතිවාසිකම් යයි හදුන්වයි.
එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ ද සඳහන් වන්නේ එසේ ය. එහෙත්
ශ්‍රී ලංකාවේ තත්ත්වය මීට වෙනස් ය. මෙරට මානව හිමිකම් භාරව
කටයුතු කරන 'සී.ස.මානව හිමිකම් පුද්ගලික සමාගම'ට අනුව කිසිදු
ශ්‍රී ලාංකිකයකුට උපතින් මානව හිමිකම් හිමි නොවේ. එම හිමිකම
ඇත්තේ එක්තරා පිරිසකට පමණක් බව එම සමාගම අපට පැහැදිළි ව
පෙන්වා දී තිබේ.මෙරට මානව හිමිකම් හිමි පිරිසට වඩා අහිමි පිරිස
වැඩි බැවින් ඒ පිළිබඳ නිදසුන් සැපයීම ඉතා ම පහසු ය.

මසක් පමණ කාලය තුළ පිරපාහරන්ට ගොදුරු වූ අයට මානව
හිමික්ම් නැත. අනුරාධපුර රුවන්වැලි සෑය වඳින්නට ගිය වයෝවෘද්ධ
බැතිමතියන්ට හෝ කොටුව දුම්රිය පොළේදී මිය ගිය ළමයින්ට එම
හිමිකම් අදාළ නැත. ඒ නොදරුවන්ට ළමා අයිතිවාසිකම් ද නැත.
කොටුවේ මිය ගිය සිංහල දරුවන්ට මෙන් ම දෙමළ දරුවාට ද මානව
හිමිනම් නැති බැවින් ඒවා සුළු ජාතීන්ට පමණක් ඇතැයි කීම
අසාධාරණ ය. මේ පිරිසට මානව හිමිකම් නැතැයි මා පවසන්නේ
කවර පදනමක සිටදැයි දැන් ඔබ මගෙන් විමසනු ඇත. මේ
කිසිදු ඝාතනයක් යටකී මානව හිමිකම් පුද්ගලික සමාගම හෝ
ලුවිස් ආබර් සහ රාමා මනි ආදී සුදු නෝනාලා හෝ හෙළා දැක
නැත. ඒවා පිළිබඳ පර්යේෂණ කිරීමට ජාත්‍යන්තර කොමිසමක් පත්
කල යුතු බව කීවේ ද නැත.කොටුව දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතා
තිබුණේ ද නැත.(ඇතැම් ජාත්‍යන්තර මානව හිමිකම් කොම්පැණි
LTTE සංවිධානය මෙන් ම රජය සහ සෙසු සන්නද්ධ කණ්ඩායම් ද
සිවිල් ජනතාව වෙත ප්‍රහාර එල්ල කිරීම නතර කළ යුතුය යන
කුණුහරුපය කිසිදු විළි බියක් නැතිව නැවත ප්‍රකාශ කර තිබිණි.)
එහෙයින් ඒ සියල්ලන්ට මානව හිමිකම් නැතැයි නිගමනය කිරීමට
අපට සිදු වේ. එමෙන් ම මානව හිමිකම් නැති නිසා මේ
අය මිනිසුන් නොවේයයි කිසිවකු තර්ක කළහොත් මම
නිරුත්තර වෙමි.

එහෙත් සෙන්චෝලේ කොටි කඳවුරට ගුවන් හමුදාව ඉකුත්
අගෝස්තු 8 වන දා එල්ල කළ ප්‍රහාරයෙන් මිය ගිය ළමා
සොල්දාදුවන්ට මානව හිමික්ම් ඇත. ළමා අයිතිවාසිකම් ඇත.
එහෙයින් ප්‍රහාරයත් සමග මානව හිමිකම් පුද්ගලික සමාගම
වහා නැගී සිටියේ ය. ඒ සමාගම් තොමෝ වහ වහා කලු
පටි එල්ලා ගෙන විරෝධතා පුවරු අතැතිව කොටුව දුම්රිය
පොළ ඉදිරිපිටට රොක්වූහ. දුම්රි පොළේ නිතර සැරිසරන සිය
ගණන් මගී ජනතාව ද සිය විරෝධතාවන්ට සහභාගී වූ ආකාරය
දැක්වෙන ඡායාරූප විදෙස් පුවත් ජාල වෙත මුදා හළ හ. ශ්‍රී
ලංකා හමුදාව අහිංසක පාසැල් සිසුන්ට ගුවන් ප්‍රහාර එල්ල
කරන බවට ප්‍රචාරයක් ලෝකය පුරා දියත් කළ හ. ජිනීවා
ඔස්ලෝ මූලස්ථානවලින් නිවේදන පිට නිවේදන පිටවන්නට විය.
පීඩනය කෙතරම් දරුණු වී ද යත් ලංකා ආණ්ඩුවට ඒ පිළිබඳ
කොමිසමක් පත් කරන්නට සිදු විය. මේ මානව හිමිකම්
කෙතරම් අපූරු ද යත් පිරපාහරන් අහිංසක ළමයින් යුද සේවයට
යොදා ගැනීමෙන්, ඔවුන්ගේ මානව හිමිකම් කඩවූ බව සහ
ඔවුන්ගේ ජීවත්වීමේ නිදහස අහිමි වූ බව යන සක්සුදක් සේ
පැහැදිළි යථාර්ථය සඟවන ලදි. මේ යථාර්ථය මත සිටගෙන
අතිගරු ලුවිස් ආබර් සුදු නෝනා ලංකා ආණ්ඩුව ද්‍රවිඩයින්
සමූල ඝාතනය කරන බවත් ඊට එරෙහිව එක්සත් ජාතීන්ගේ
හමුදාවක් මෙරටට කැඳවිය යුතු බවත් ප්‍රකාශ කළා ය. තවත්
පිරිසක් අධි පෝෂණ බිස්කට් වෙඩි නොවදින කබා හමුදා
නිරීක්‍ෂණයෙන් බංකර් ආරක්ෂා කර ගැනීමට ඉක්මණින්
වැවෙන වැල් වර්ගයක බීජ ඇතුලු දහසක් දේ කොටියාට
සැපයූ හ. කොළඹ දී අහිංසක ළමයින් සී සී කඩ කැබලිවලට
කැඩී මරු වසඟයට යද්දී ක්‍ෂමා ආයතනය නිවේදනයක්
නිකුත් කරමින් පැවසුවේ ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට අහිතකර
බව ය. මෙය වූ කලී යකඩ ගිනි ගත් ගෙයි පුළුන් සෙවීමට
නොදෙවෙනි අමන ක්‍රියාවකි. ශ්‍රී ලාංකිකයාගේ ජීවත්වීමේ
නිදහස උදුරාගත් ත්‍රස්තවාදයට වැට නොබැඳ ඇවිලෙන
ගින්නෙන් සුරුට්ටු දල්වා ගැනීමකි.මේ සියල්ලෙන් පැහැදිළි
වන්නේ නහුතයක් හිමිකම් සුරැකීමට අටවා ඇති නහුතයක්
NGO සමාගම් ත්‍රස්තවාදය සුරකින්නට ක්‍රියා කරන බව ය.
මාතෘ භූමියෙන් කෑලිවලට කඩන්නට දත කන බව ය. කුමක්
සඳහා ද ? සිය බඩ රස්සාව ආරක්ෂා කර ගන්නට ය.
මානව හිමිකම් සුරකිම අවැසි ඒවා කැඩෙන තරමට ය. ලොව
පුරා ලේ වැගිරෙන තරමට ය. එහෙයින් ලේ පුසුඹට ඉව
අල්ලමින් තව තවත් ලේ හලන්නට මං පාදමින් මේ මිනීමරු
සංවිධාන අප වටා කැරකෙයි. අපේ රටේ ගලා යන ලේ
දහරා මේ මිනී මෝරුන්ගේ ගිනුම්වලට බැර වන්නේ ඩොලර්
යූරෝ යෙන්වලිනි. මානව හිමිකම් යනු මේ මහතුන්ට කදිම
බිස්නස් එකකි. ඒ ව්‍යාපාරය යෙහෙන් කරගෙන
යාමට පිරපාහරන් උන්ට කප් රුකකි. සුරබි දෙනකි. ඒ
සඳහා පිරපාහරන් යනු නෙල්සන් මැන්ඩෙලා කෙනෙකි
මහත්මා ගාන්ධි කෙනෙකි යන ප්‍රතිරූපය බොහෝ රටවල
ඉතා සූක්ෂ ම ලෙස ගොඩ නගා තිබේ. එය ඔවුන්ට සිය බඩ
රස්සාව කර ගැනීමට අත්‍යවශ්‍ය ය. අප පවසන දේ ඔබ
නොපිළිගත්තත් අයර්ලන්ත ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක
ජෝන් ට්‍රිම්බල් මහතා පැවසූ වදන් ඔබට පිළිගැනීමට සිදුවනු
ඇත. "ලෝකයේ ලාභදායක රස්සා දෙකක් තිබේ.
එකක් අවි ආයුධ වෙළෙඳාම ය. අනෙක මානව හිමිකම් ය.
මානව හිමිකම් හොඳම බිස්නස් එකද වේ."

මෙවන් භයානක කාල පරිච්ඡේදයක වුව ද සම-හරක් සුපර්ස්ටර්
බලමින් ද ක්‍රිකට් තරග නරඹමින් ද සිටිති. රටට හෙණ ගැහුවත්
ඔවුන්ට කමක් නැත. මේ අය දෙමළ අයගේ නිජ බිම පිළිගන්නා
බැවින් ඔවුන්ගේ ඇඟේ බෝම්බ නොවදී. ජනාධිපතිරණයේ දී
ඡන්දය දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට බැවින් වෙඩි උණ්ඩ
ඔවුන් අසලට පැමිණ නතර වෙයි. ඔවුන්ගේ දරුවන්ට ඥාතීන්ට
ත්‍රස්තවාදයෙන් කිසිදු හානියක් නොවේ. මේ අයට ඇති ලොකු ම
ප්‍රශ්නය බඩු මිල ඉහල යාම ය. වෙන කිසි ම ප්‍රශ්නයක්
ඔවුන්ට නැත. මොවුන් දකින අපට නිතැතින් සිහියට නැ‍ඟෙන්නේ
'උණු වන තුරු කකුළුවා දිය කෙළියේ' යන සුභාෂිතයයි. එහෙත්
මිත්‍රවරුණි,2001 අල්කයිඩාව ඇමරිකාවට පහර දුන් විට
රිපබ්ලිකන් ඩිමෝක්‍රටික් දෙපක්ෂයේ ම නායකයන් සිය ප්‍රධාන
දේවස්ථානයකට රැස්ව ප්‍රකාශ කළේ 'අපි ඇමරිකානුවෝ!
ඕනෑ ම අභියෝගයකට මුහුණදීමට අපි සුදානම්!' යන උදාන
වාක්‍යයයි. සියල්ලට මුහුදට දත නියවන අපේ ඇත්තෝ
ඔවුන්ගේ යහගුණය හැර හැමදේ ම දෝතින් ම භාරගනිති.
අහෝ විපතක මහත!

මොන කරුමය ද තව ඇහැරුන බවක් නැහැ
තැන තැන සැඟව මුළු වැදුමෙන් පලක් නැහැ
දිනුමෙන් පැරදුමෙන් කෝකත් කමක් නැහැ
එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ
(එස්.මහින්ද හිමි)

2008-02-08

දොන් ජුවන්ලාට එරෙහිව




අපේ රටට පිළිමල් වන සතුරු මුල
අපේ උන්ම නම් බිඳිනෙමු උන්ගේ බල
අපේ මුතුන් මිත්තන් මළ සොහොන්වල
පිපෙයි එවිට ජාතික අභිමාන මල
(එස්.මහින්ද හිමි)

LTTE සංවිධානය විසි පස් වසක් අවසන සිය ශේෂ පත්‍රය අප
අබිමුව තබා තිබේ. ශේෂය ඍණ ශේෂයකි. 80 දශකයේ ගම්
දනව්වලට කාඩරයන් එවා අහිංසකයින් කඩු ගා වෙඩි තබා රුධිර
පිපාසය නිවාගත් පිරපාහරන් අනතුරුව ශ්‍රී ලංකා හමුදාවට
එරෙහිව මහා පරිමාණ ත්‍රස්තවාදයට අවතීර්ණ විය. 'අපට
ප්‍රශ්නය ඇත්තේ සිවිල් වැසියන් සමග නොව සිංහල හමුදාව
සමගය'යි ඔහු පාරම් බෑවේ මේ අවදියේ ය. එහෙත් අද
ඔහු නැවත සිය ආරම්භකස්ථානයට පැමිණ සිටියි. කලක් ශ්‍රී
ලංකා හමුදාවට ඍජුව අභියෝග කළ පිරපාහරන් අද හමුදාවෙන්
මදි නොකියන්න පහර කයි. ඊනියා ඊලාම් දේශයේ අගසව්වෝ,
පතාක යෝධයෝ රඹ කඳන් සේ මැරී වැටෙති. දිනපතා
කාඩරයින් 10ක් 12ක් හමුදාව අතින් පරලොව යයි.
පිරපාහරන් ද ගුවන් ප්‍රහාරයෙන් තුවාල ලබා දියවැඩියාව
නිසා ඔඩු දුවන තුවාල ද සහිතව වන්නි කැළයේ උමඟක ළං
ළංව ඇසෙන මාරයාගේ හඬින් සලිත වෙමින් සිටිනවා විය
යුතු ය. ඒ අතර ඊලාම් දේශයේ සීමා මායිම් නැගෙනහිරින්
තුරන් වී වන්නියේ දිස්ත්‍රික් 2ට හැකිළි ගොස් ය. ඔබ මෙම
ලිපිය කියවන මේ මොහොතේ ද අපේ වීරෝදාර හමුදාවෝ
එහි සිතියම තව තවත් පටු කරමින් සිටියි. එපමණක් නොව
හමුදාවට එරෙහිව කරන බව කී පිරපාහරන්ගේ සටන නැවත
සාමාන්‍ය ජනතාව වෙත විතැන්වී ඇත. කොටින් ම කොටි
විසිපස් වසරකින් පස්සට ගොස් ය.

බුත්තල, කොටුව, ගල්කිස්ස, දඹුල්ල, වැලි ඔය ආදි
ප්‍රදේශවල මාතෘ භූමිය තෙත් කළේ මර ඇ‍ඳේ පණ අදින
කොටියාගේ අවසන් පණ නල වෙනුවෙන් ජාතිය ගෙවිය
යුතු රුධිර වන්දියයි. එය ඉන් නොනවතිනු ඇත.
එහෙත් ම්ලේච්ඡ ත්‍රස්තවාදයට එරෙහිව එසවූ අවිය අරමුණ
සඵල වන තුරු බිම නොතැබිය යුතු ය. යුරෝපීයන්
තුන් කට්ටුවෙන් රට බේරා ගත්තේ ද මේ ආකාරයෙන් ම
ඔවුන් ඉල්ලු ලේ වන්දිය ගෙවීමෙනි. කුඩාපොල හිමි,පුරන්
අප්පු,ඇහැළේපොල නිළමේ, ගොන්ගාලේගොඩ බණ්ඩා
ඇතුලු සිය දහස් ගණනක් වීරයින් එදා සිය ජීවිත
නොමසුරුව රට වෙනුවෙන් පූජා කළහ. එහෙවු නිදහස
මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර දීම ද එය අර්ථාන්විත
කොට මතු පරපුරට දායාද කිරීම ද අප සතු යුතුකම ය.
එහෙයින් අපේ මතු පරපුර වෙනුවෙන් ඕනෑ ම
පරිත්‍යාගයක් කිරීමට අප සුදානම් විය යුතු ය. ත්‍රිවිධ
හමුදාව සහ රජය යළි නොහැරෙන බව ද ඕනෑ ම
දුකක් ත්‍රස්තවාදය විනාශ කිරීමට හිලව් ලෙස විඳ ගන්න‍ට
ජනතාව සුදානම් බව ද දැන් දැන් පෙනී යයි.

මාතෘ භූමියෙන් ත්‍රස්තවාදය අතගා දැමීමේ මෙකී උදාරතර
සම්මුතිය හමුවේ විජාතික බලවේග සලිත වී ඇත. එම
විජාතික බලවේගයේ දේශීය නියෝජිතයන් අතර අගතැන්
එවිපය (එක්සත් විජාතික පක්ෂය) ආරක්ෂක
ලේකම්වරයා ගෙදර යැවීමට දරන නින්දිත උත්සාහයේ
ද පිත්තල හංදියේදී ඔහු නිහඬ කිරීමට පිරපාහරන් ගත්
උත්සාහයේ ද ඇත්තේ එක ම අරමුණකි. ඒ හමුදාවේ
ගමන ආපසු හැරවීම ය. මෙරට ත්‍රීවිල් මාක්ස්වාදී
පක්‍ෂවලට ද හමුදා මෙහෙයුම් නවතන තුරු නින්දක්
නැත.මානව හිමිකම්, මූලික අයිතිවාසිකම්, මාධ්‍ය
නිදහස, ළමා අයිතිවාසිකම්, යුධ විරෝධය ආදි
තිර පිටුපස සිට වෙස් බඳින්නන් ද අවසන රඟන්නේ
මෙකී අරමුණ වෙනුවෙනි.

වසර කිහිපයක් තුළ ධාර්මික වෙළඳාමෙන් සහ
පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපින් නැව් කිහිපයක් මිලට
ගත් ගුවන් යානයක් ද මිලට ගැනීමට බලා සිටි
කෝටිපති මහේෂ්වරන්ගේ මරණයට අත්වල කළු
පටි පැළඳ විරෝධය පළ කළ කුමාර් රූපසිංහ,
පාක්‍යසෝති සරවණමුත්තු, වික්ටර් අයිවන්,
වික්‍රමබාහු කරුණාරත්න, සුනන්ද දේශප්‍රිය
ඇතුලු මෙරට මානව හිමිකම් අද්වකාත්වරු
ද.මු. දසනායක මළ බවක් දන්නේ නැත.
බුත්තල, කොටුව, ගල්කිස්ස, දඹුල්ල, වැලි
ඔය ආදී ප්‍රදේශවල ම්ලේච්ඡ ත්‍රස්තවාදය
මානව හිමිකම් සමූල ඝාතනය කරන විට ඒ
මානව හිතවාදීන්ට නින්ද ගොස් ය. අවදියෙන්
සිටියා නම් මේ කල්ලිය පිරපාහරන් අල්ලා
පරසක්වළ ගසනු ඇත.

නොඑසේ නම් අප අවබෝධ කර ගත යුත්තේ
මේ සියලු අයිතීන් හිමි වන්නේ ත්‍රස්තයන්ට
හෝ උන්ට උඩගෙඩි දෙන්නන්ට පමණක් බව ය.
අඩු තරමින් ලංකා හමුදාවට එරෙහිව චෝදනා
එල්ල කළ හැකි සිද්ධීන්ට බව ය. එහෙයින්
කුමාර් රූපසිංහලාගේ ප්‍රයත්නය සේවය කරන්නේ
කාටදැයි අප අවබෝධ කර ගත යුතු ය. කරදිය
වළල්ල වටේ දඩාවතේ යමින් පිරපාහරන්ගේ
මුට්ටි කාසි සමුළු අමතා කොටුවේ දුම්රිය
පොළ ඉදිරිපිට

මෙරට මානව අයිතීන් නැතැයි තප්පුලන්නට ආණ්ඩුව
තවදුරටත් දේශද්‍රෝහීන්ට ඉඩ දිය යුතු නැත.
ත්‍රීවිල් මාක්ස්වාදී පක්‍ෂයක නායකයා වීම, එම
පක්ෂය විදේශීය NGO මගින් නඩත්තු කිරීම හෝ
ආචාර්ය පට්ටමක් දැරීම ඒ සඳහා නිදහසට කරුණු
නොවේ.

කොටුව ප්‍රහාරයෙන් රටට අහිමි වූ ඩී. එස්.
විදුහලේ සිංහල දරුවන් 6 දෙනා සහ ද්‍රවිඩ
දරුවාගේ අයිතීන් පිළිබඳ නෑසු කන්ව සිටි
ජගත් ප්‍රජාව නොබෝදා වහා අවදි විය. ඒ
ශ්‍රී ලංකා ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරයක්
තම සංවිධානයේ වන්නි කාර්යාලයක් අසලට
පතිත වූ බව ප්‍රකාශ කිරීමට ය. මේ සියලු
කරුණුවලින් අප අවබෝධ කර ගත යුත්තේ
ආයුධ වෙළඳාම මෙන් ම මානව හිමිකම්
වෙළඳාම ද ඉතා ම ලාභදායි ව්‍යාපර බව ය.
අපට මේ සියලු පෙරමුණු සමග එකවර සටන්
කිරීමට සිදුවී ඇති බව ය.

මේ තීරණාත්මක මොහොතේ ආරක්ෂක ලේකම්වරයාට
විරුද්ධව එකුන් දහසක් ද්‍රොහීන් කරනු ලබන කුමන්ත්‍රණ
රටට එරෙහිව කරන ඒවා බව අවබෝධ කර ගත යුතු ය.
මේ අරගලය රටේ ඒකීයත්වය වෙනුවෙන් මිස ඔහුගේ
පවුලේ සුඛ විහරණය පිණිස නොවේ. මීට පෙර
රන්ජන් විජේරත්න, ලලිත් ඇතුලත්මුදලි යටතේ කොටියාගේ
අවසන් තප්පරය ළං වෙමින් තිබියදී එය වැළැක්වූයේ ද
මෙකී මෘගයින් විසිනි. ඒ යුගයේ ද මේ ආකාරයට ම
ආරක්ෂක අංශවලට එරෙහිව නොයෙක් කුමන්ත්‍රණ
දියත් විය. එහි ප්‍රතිඵල සඳහා වන්දිය අද අපි

ලේවලින් ගෙවමින් සිටිමු. එහෙයින් මේ අවස්ථාවේ
ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට රජයට ද ආරක්ෂක අංශ
වෙතට ද අප ශක්තියක් විය යුතු ය. පිරපාහරන්ගේ
මානව අයිතිවාසිකම් වෙනුවෙන් තප්පුලන දෙස් විදෙස්
බලවේගයන්ට එරෙහිව වහා නැගී සිටිය යුතු ය.
නැතහොත් ඊයේ කොටුව දුම්රිය පොළේදී බිලි
ගත් අනුන්ගේ දරුවා වෙනුවට හෙට ඔබේ දරුවා
බිලි දෙන්නට ඔබට සිදුවනු ඇත. ඊයේ මිය ගිය
දරුවෝ යුද්ධය ගැන කිසිවක් නොදත් නොදරුවෝ ය.
අපට වඩා ඒ වියෝවින් සදාකල් දුක් විඳින්නේ
දෙමාපියෝ ය.ඔබ වඩාත් හොදින් මතක තබා ගත
යුත්තේ ඒ දරුවන්ගේ දෙමාපියන් ශ්‍රි ලංකාකාරයින්දැයි
යූඇන්පීකාරයින්දැයි ඝාතකයා සොයා නොබැලූ බව ය.
පිරපාහරන් සැමට එක හැන්දෙන් බෙදයි.එහෙයින්
අප වහා ම යථාර්ථයට මුහුණ දෙමු. නූතන හිට්ලර්ට
එරෙහිව පෙළ ගැසෙමු.

"හෙළ දෙරණේ කදුල සුසුම
සිනහව සොම්නස මගේ ය
මා ගයනා මේ ගීයේ
උරුමය මා දිනු රටේ ය"

2008-02-01

හඬනු මැන නිදහස !!!

අප මේ සමරන්නේ නිදහසේ 60 වන සංවත්සරයයි. 1505 පෘතුගීසි
දිවයිනේ මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කර ගත් අතර අනතුරුව එය
ලන්දේසි සහ ඉංග්‍රීසි අතට පත් විය. 1815 කන්ද උඩරට ගිවිසුමත්
සමග සමස්ත ලංකාව ම බ්‍රිතාන්‍යය කිරීටයට නතු විය. 1948 වසරේ
නැවත නිදහස ලැබිණි. එය ඩොමීනියන් නිදහසකි. 1972 ජනරජ
ව්‍යවස්ථාවෙන් පූර්ණ නිදහස ප්‍රකාශයට පත් කරන ලදි.එහෙත් අප
ලැබුවේ 1815 අපෙන් උදුරා සම්පූර්ණ නිදහස ද? නිදහසින් කොටසක්
ද? අප අද භුක්ති විඳින්නේ සැබෑ නිදහස ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු
සපයා ගැනීමට ප්‍රථම නිදහස යනු කුමක්දැයි අර්ථකථනය කර ගැනීම වැදගත් ය.

හරිස්චන්ද්‍ර විජේතුංග ප්‍රායෝගික සිංහල ශබ්ද කෝෂයේ 'නිදහස'
'නිදහස්' යන වචන මෙසේ විග්‍රහ කර ඇත."කිසිවකුටත් යටත් නැති තත්ත්වය, යටත් නොවන, ස්වාධීනතාව, බැඳීම්වලින් තොර "(1982_947)

රටක නිදහස ආර්ථික - සමාජ - දේශපාලන - සංස්කෘතික ක්‍ෂේත්‍ර
වෙත විහිදී යයි. එමෙන් ම එය ආර්ථික - සමාජ - දේශපාලන -
සංස්කෘතික ලෙස බෙදා විග්‍රහ කිරීම කිරීම පහසු ය. එහෙත් ඒ සියල්ල
ප්‍රායෝගික ලෝකයේ එකට බැඳී පවතී. අප අවබෝධ කර ගත යුත්තේ
නිදහස යනු පුළුල් සංකල්පයක් බව ය. එය හුදු දේශපාලන නිදහස
පමණක් නොවේ. ආර්ථික නිදහස පමණක් ද නොවේ. මේ සියල්ලේ
සුසංයෝගයයි.

අප 48 සහ 72 ලැබූ නිදහස පරිපූර්ණ ද? එය එසේ නම් අපට
ස්වාධීනව රට පිළිබඳ තීරණ ගත හැකි විය යුතු ය. අපේ රටේ
ප්‍රශ්න අපට විසඳා ගැනීමට අවකාශ තිබිය යුතු ය. නිදහසේ
ආර්ථික තීරණ ගත හැකි විය යුතු ය.අපේ සංස්කෘතිය නිදහසේ
භුක්ති විඳින්නට පෝෂණය කර ගන්නට අවකාශ තිබිය යුතු ය.
බැලූ බැල්මට අප නිදහස් ජාතියක් ලෙස පෙනුණ ද එය හුදු
මිත්‍යාවක් පමණි. සැබවින් ම අප තව ම යටත් වැසියෝ වෙමු.

එය1948ට පෙර මෙන් ඍජු යටත්විජිතවාදයක් නො ව වක්‍ර
යටත්විජිතවාදයකි. එය ගෝලීයකරණය විශ්ව ගම්මානය විශ්ව
පවුල ආදි සුකොමල වදන්වලින් ද හැදින්වේ. එහෙත් මේ වූ
කලී යටත්විජිතවාදයේ අබිනව මුහුණුවරයි. ලෝකය යටත්
විජිතකරණයේ සිට නව යටත්විජිතකරණය ඔස්සේ යළි
යටත්විජිතකරණයට පැමිණ ඇත. අතීත අවස්ථාවලට සාපේක්ෂව
යළි යටත්විජිතකරණය ඉතා ම සියුම් සහ බිහිසුණු ක්‍රියාදාමයකි.
එහෙයින් අප බලවත් ජාතීන් විසින් සූරා කන බව අපට
නොපෙණේ. එහි බිහිසුණු බව නෝම් චොම්ස්කි වැනි විද්වතුන්ගේ
සහ ජෝන් පර්කින්ස් ආදී හිටපු ඒජන්තවරුන්ගේ කෘති කියවීමෙන්
ලබා ගත හැකි ය.

මේ වන විට යටත්විජිතකරණය ලොව පුරා ව්‍යාප්ත කරන්නේ
ද නඩත්තු කරන්නේ ද ලෝක බැංකුව,ජාත්‍යන්තර මූල්‍ය
අරමුදල,ලෝක වෙළඳ සංවිධානය ආදී ආයතනයි. මේ ආයතනවල
නිල නොවන ස්වාමිවරු බලවත් ජාතීහු වෙති. ඒවාට අමතරව
බලවත් රටවල මුදලින් යැපෙන විවිධ NGO ඊට දායක වෙති.
එම NGO මගින් විදේශ ශිෂ්‍යත්ව ලෝක සවාරි සම්මන්ත්‍රණ
ඇතුළු නොයෙක් දොළ පිදේනි ලබන පිරිස් ද ඊට නොමසුරව
දායක වෙති. මේ සඳහා අලුතින් ම අත ගසා ඇත්තේ එක්සත්
ජාතින්ගේ සංවිධානය බව එහි මෑත කාලීන හැසිරීම්වලින්
පැහැදිළි වේ. එය එහි මුල් අරමූණට අහසට පොළව වැනි
වූවකි.

"වර්තමානයේදී යටත්විජිතවාදය ක්‍රියාත්මක වන්නේ
මිෂනාරීන්, ධනපතීන්, යෝධ කර්මාන්තකරුවන්, පර්යේෂකයින්,
මානව විද්‍යාඥයින්, හොඳ හිත පතුරුවන්නන්, සංචාරකයින් සහ
ෆෙඩරල් ඒජන්සිවල සාමුහික ක්‍රියාවලිය තුළිනි."
(විලියම් මේයර් _ඇමරිකාව ස්වදේශිකයන්ට සලකන හැටි)

කෙසේ වුව ද මේ වන විට ලෝකය, යළි යටත්විජතකරණයට
ශීඝ්‍රයෙන් ප්‍රතිචාර දක්වමින් සිටියි. නොයෙක් බලවත්
ජාතීන් විසින් දරුණු ලෙස සූරා කෑ ලතින් ඇමරිකානු රටවල්
දැන් ඊට එරෙහිව පෙළ ගැසී ඇත.බහුජාතික සමාගම් සතු
සම්පත් ජනසතු කිරීම, ලෝක බැංකුව සමග කළ ගනුදෙනුවලින්
ඉවත්වීම, ඇල්බා නමින් නව බැංකුවක් ඇරඹීම,කළාපයේ
රටවල ආරක්ෂාව සඳහා සංවිධානය වීම එහි ලා ප්‍රධාන වෙයි.

එහෙත් මේ යථාර්ථයට මුහුණ දීමට ලාංකිකයා තව ම සුදානම්
නැත. ඒ සඳහා ඇවැසි දේශපාලන විඥාන පෝෂණය මෙරට
අධ්‍යාපන පද්ධතිය විසින් බැහැර කොට තිබේ. මේ නිසා
සියලු දෙනා සිතන්නේ අප නිදහස් බවකි.රටේ පිරිවෙන්
පද්ධතිය විනාශ කොට බටහිර පන්නයේ පාසැල් සහ
විශ්වවිද්‍යාල බෝ කිරීමෙන් ඒ සඳහා ඇවැසි පදනම දමන ලදි.
එනම් දේශීයත්වයෙන් ගිළිහී ගිය පරපුරක් නිර්මාණය බිහි කරන
ලදි. මේ පද්ධතියෙන් බෝ කරන්නේ යළි යටත්විජිතකරණය
තුළ ක්‍රියාත්මක බහුජාතික සමාගම්වලට ඇවැසි ලිපිකරුවන් මිස
රටකට ඇවැසි දේශමාමක බුද්ධිමතුන් නොවේ. ඒ පරම්පරාව
රට ගැන සිතන පිරිසක් නොව 'ඉන්න ටිකේ ඉමුකො සුදෝ
ජොලියේ දමාලා' වර්ගයේ පිරිසකි.

බ්‍රිතාන්‍යයේ ධනේෂ්වර ආර්ථික විද්‍යාඥයකු වන ජෝන්
මෙනන් වරක් පැවසුවේ "මේ අධිරාජ්‍යය තවදුරටත් අපට
පවත්වා ගෙන යන්න බැහැ.ඒ නිසා එය අත්හරිමු. නමුත්
ඒ යටත්විජිත අත්හැරිය යුත්තේ තව දුරටත් අපට පාලනය
කළ හැකි අවනත ව තබා ගත හැකි ආකාරයටයි." යනුවෙනි.
60 වසරක් ඉක්ම ගිය තැන එය කෙතරම් යථාර්ථයක් බවට
පත්ව තිබේ ද? දැන් රට පාලනය කරන්නේ ලෝක බැංකුව
ලෝක වෙළඳ සංවිධානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසිනි.
ෂෙල් සමාගම සහ ඔපෙක් සංවිධානය අපේ ජීවන මට්ටම
තීරණය කරනු ඇත. එම ආයතනවල තීරණ ක්‍රියාත්මක
කරන්නට රජය සිටියි. කොටින් ම මේ ජාලය විසින් රට
සිරභාරයට ගෙන ජනතාව නිවාස අඩස්සියේ තබා ඇත.
මෙකී දුෂ්ට චක්‍රයේ පෝෂණයට නිදහසින් පසු රට පාලනය
කළ සියලු දෙනා අඩු වැඩි ලෙස සම්මාදම් වී තිබේ.

එසේ නම් අප නිදහස නොසැමරිය යුතු ද? ඉන් පලක්
නැද්ද? එසේ නොවේ. අප නිදහස සැමරිය යුතු ය.
කෙසේ ද? අපේ නිදහස වෙනුවෙන් අභීතව සටන්
කළ වීරයින් සිහි කිරීමට ය. ඒ පිළිබඳ දැනුම ඉදිරි
පරම්පරාවට දායාද කිරීමට ය. අප ලැබූ නිදහසේ සීමා
මායිම් පිළිබඳ ව සමාජය තුළ කතිකාවත් ගොඩනැගීමට
ය. අපේ පෞඪ ඉතිහාසය නැවත නැවත සිහිපත් කර
දේශාභිමානය ජනිත කිරීමට ය. නූතනයේ අප හමුවේ
ඇති අභියෝග පිළිබඳ ව සමාජ මතයක් ඇති කිරීමට
ය. කොටින් ම අප අද නිදහස සැමරිය යුත්තේ 815
අපෙන් උදුරා ගත් නිදහස නැවත විජයග්‍රහණය කිරීමට
සමාජය බලමුළු ගැන්වීමට ය. ඒ සඳහා චාම් අභිමාණවත්
නිදහස් උත්සවයක් ප්‍රමාණවත් ය.

එහෙත් අවාසනාවට අප කරන්නේ නොකළ යුතු දේ ය.
පෙබරවාරි මුල සිට මුළු කොළඹ ම විදුලියෙන් ආලෝකවත්
කරනු ලැබේ. පසල් දනව්ව ද එසේ ම ය. දිනකට විදුලි
බල මණඩල පාඩුව කෝටි 6කි.මහා ඉහළින් ජනතාවගේ
මුදල් වියදම් කර උත්සව පවත්වනු ලැබේ. බොහෝ විට
ඒ සඳහා වැය බර දරන්නේ ද විවිධ ආයතනවලට රටේ
අනාගතය ගිනි පොළියට උකස් කොට ලබා ගත් මුදල් ය.
ජනතාව ද එදින නිවාඩු දිනයක් බැවින් කොහේ හෝ
සවාරියක් ගසා චයිනිස් හෝටලයකින් දවල්ට කා රෑට
අරක්කු ටිකක් බී නිදති. පසු දා කිසිත් සිදු නොවුණු
ලෙස කාර්යාලයට රිංගා සුපුරුදු වැඩ කරති.

එහෙයින් කළ යුත්තේ යළි නිදහස් සටනට පණ
පෙවීම ය. ඒ සඳහා ජනතාව අවදි කළ යුතු ය.
අපේ නිදහස් සටනට කවිය අවියක් කොට ගෙන
පණ පෙවූ එස්.මහින්ද හිමිගේ "දරු නැළවිල්ල"
පද්‍යය සංග්‍රහයෙන් තෝරා ගත් පැදි කිහිපයක්
මේ සමඟ පළ කරමි. පද්‍යය පංතියට උන්වහන්සේ
ලබා දුන් නමින් ම ඒවා දැයේ මව්වරුන්ට සිය දරුවන්
නළවන විට ගායනා කිරීමට විරචිත බව සුපැහැදිළි ය.

මුනි සිරිපා             සිඹිමින්නේ
සමනොළ ගිරි   පෙදෙසින්නේ
මඳ සුළඟයි මේ           එන්නේ
මගේ පුතා             නිඳියන්නේ

නිදහස මහ මුහුදක් වේ
එහි උල්පත පුත! නුඹ වේ
ඒ බව සිහිකොට මෙලොවේ
යුතුකම ඉටු කළ යුතු වේ

ජාතික රණ දෙරණ මතේ
ගැටී වැටී මළ මොහොතේ
සුන්දර සුරඹුන්ගේ අතේ
නැළවෙන බව සිතනු පුතේ


(මහින්ද ප්‍රබන්ධ-සුනිල් ආරියරත්න,1987,දයාවංශ ජයකොඩි,මරදාන)

දරු නැළවිල්ල පද්‍ය පංතියෙන් තෝරා ගත් පද්‍ය සඳහා >>>