2007-11-29

බළලා මල්ලෙන් පැනීම

වන්නි කැලෑවේ සැඟව සිටින පිරබාහරන් සුපුරුදු ඊනියා විරු දින කතාව 26 වැනිදා කළේ ය. සමස්තයක් ලෙස එම කතාව, විරෝධාර ශ්‍රී ලංකා හමුදාවන්ගේ ප්‍රහාර හමුවේ දිනෙන් දින වියැකී යන ඊලම් සිහිනය සහ ළඟ ළඟ ම දැනෙන මර බිය හමුවේ සලිත වූවෙකුගේ අඳෝනාවක් පමණි. "මම ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරු සහ ආරක්ෂක ලේකම්වරු කිහිප දෙනෙක් දැකලා තියෙනවා.නමුත් ඔවුන් දැකලා තියෙන්නේ එක පිරබාහරන් කෙනෙක් පමණි" වර්ගයේ උදම් ඇනීම් මෙවර නැත. කෙටි කාලයක් තුළ ඊනියා ඊලම් රාජ්‍යයේ අගනුවර ඇතුලු සමස්ත නැගෙනහිර පලාත ද තමිල් සෙල්වම් ඇතුලු දෙවන පෙළ නායකත්වය ද අහිමි වී ගිය ද විකිණිය හැකි තරමේ ජයක් ලබා ගත්තේ නැත. තම ත්‍රස්ත ක්‍රියාවන්ට ජාත්‍යන්තර ප්‍රජාව දක්වන සහය ප්‍රමාණවත් නැතැයි පිරබාහරන් මැසිවිලි නැගීම පිළිබඳ පරිස්සම් විය යුතු ය. ඇතැම් දේශපාලන විශාරදයින්, ජගත් ප්‍රජාව ශ්‍රී ලංකා රජය සමඟ එක පෙළට සිට LTTE ත්‍රස්තවාදයට වැට බැඳ ඇතැයි කිවහොත් අප පුදුම විය යුතු නැත. පිරබාහරන්ගේ ඉහත කතාව එවැනි විශාරදයින්ගේ තෘප්තිය සඳහා ඇද බෑ බින්නයකි. සැබෑව නම් පිරබාහරන් ජීවග්‍රාහයෙන් ම අල්ලා ගෙන මෙම ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට තිබූ සියලු අවස්ථා ජගත් ප්‍රජාව දෘෂ්ට ලෙස අපෙන් උදුරා ගත් බව ය.
ඔහුගේ කතාවේ අවධානය යොමු කළ යුතු වැදගත් ම කොටස නම් ලොව පුරා මිලියන 80ක් පමණ ද්‍රවිඩ ජනතාව සිටියත් ඔවුන්ට ස්වාධීන රාජ්‍යයක් නොමැති බැවින් ඊලම් රාජ්‍යය ලබා ගැනීමට සියලු ද්‍රවිඩයන් එක් විය යුතු බවට කරන ලද ප්‍රකාශයයි.මෙය සැබවින් ම බළලා මල්ලෙන් පැනීමකි. සිංහල මහ ජාතිය දෙමළ ජනතාවගේ අයිතීන් පැහැර ගෙන ඇතැයි කියමින් මෙතෙක් කල් ගෙන ගිය රංගනය දැන්වත් අප අවබෝධ කර ගත යුතු ය. ඔවුන්ගේ එක ම අරමුණ තම වර්ගයා සඳහා වෙනම රාජ්‍යයක් බිහි කර ගැනීමයි.එහි නායකයා ලෙස වැජඹීමයි. දෙමළ ජනතාවගේ අයිතීන් ඒ සිහින රාජ්‍යය තරණය කරනු සඳහා යොදා ගන්නා පහුරක් පමණි. ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා, නීලම් තිරුචෙල්වම්, ශ්‍රී සබාරත්නම්, රාජිනි තිරාණගම, ඒ.අමිර්තලිංගම්, ලක්‍ෂමන් කදිරගාමර්, කේතීෂ් ලෝගනාදන් ඇතුළු සිය ගණනක් දෙමළ මිනිසුන්ගේ ජීවත්වීමේ නිදහස උදුරා ගත් ලේ පිපාසයෙන් අද ද ආනන්ද සංගරී, ඩග්ලස් දේවානන්ද පසුපස ලුහුබඳින පිරබාහරන්ගෙන් ද්‍රවිඩයන්ට ලබා ගත හැකි විමුක්තිය කුමක් ද? සැබවින් ම ප්‍රජාතන්ත්‍රවාදී ද්‍රවිඩ නායකයන්ගේ ජීවිත මේ විමුක්තිවාදියාගෙන් බේරා ගැනීමේ වගකීම ද පැවරී ඇත්තේ ශ්‍රී ලංකා හමුදාවන් වෙත ය.
දරා ගත නොහැකි ප්‍රහාර හමුවේ වියරු වැටී සිටින පිරපාහරන් තැන තැන බෝම්බ පුපුරවන විට ඔහුගේ කොන්දේසි යටතේ සාකච්ඡාවලට ගොස් ඉල්ලන සියලු වරදාන ලබා දී රූ වැටුණු වළේ දවල් වැටෙනවා ද සියලු වඳ වේදනා දරා ගෙන මේ ත්‍රස්ත පිළිලය මාතෘ භූමියෙන් අතුගා දමනවා ද යන්න ඔබ තීරණය කළ යුතු ය. ඔබේ තේරීම පළමු වැන්න නම් නිශ්ඵල සාම සාකච්ඡාවලට යනවාට වඩා රටේ භූමියෙන් 3‍/1ක් ද මුහුදු තීරයෙන් 3/2ක් ද ඊලම් රාජ්‍යයට ලබා දී පරාජය භාර ගැනීම වඩා හොද ය. එහෙත් එය අවසානය නොවනු ඇත. මෙම ඊලම් රාජ්‍යයට නොබෝ කලකින් ම කන්ද උඩරට ද ඈඳා ගනු ඇති අතර සදාකාලික දේශසිමා අර්බුදයක් නිර්මාණය වනු ඇත. එවිට ඉතා සුළු ප්‍රශ්නයක් මුල් කර ගෙන මධ්‍යම කඳුකරයෙන් ගලා බසින ගංගා ජලය නවත්වනු ඇති අතර අපට තෙල් මෙන් ම ජලය ද ආනයනය කිරීමේ අවස්ථාව උදාවනු ඇත.ඊලම් රාජ්‍යයෙන් වීසා පහසුකම් ලබා දුන්නොත් ශ්‍රී පාදය වැඳ පුදා ගැනීමේ අවස්ථාව ද බෞද්ධ අපට හිමි වනු ඇත. කොටින් ම මව්බිමේ ම වහලුන් ලෙස අපේ අනාගත පරම්පරාවට ජීවත්වීමට සිදුවනු ඇත. රට කරවන නායකයන්ගේ දරු මුනුබුරු රොත්ත විදේශයක් සිය ස්ථීර නිවහන කර ගනු ඇත. ඔබේ තේරීම දෙවැන්න නම් ඒ අනුව අප වහා පෙළ ගැසිය යුතු ය. රටට ම එක පෙළට සිට ගෙන අපට කළ හැකි දෙ කරමින් ඊට දායක විය යුතු ය. මේ රටේ එක පයක් ද තවත් රටක අනෙක් පය ද තබා ගෙන සිටින පිරිස් සිය දේශපාලන දර්ශනවල ඇති තර්තානුකූලභාවය පිළිබඳ වාද කරමින් කල් අරිනු ඇත. උපන් රට තව්තිසාවටත් වඩා අගයමින් එහි ජීවත් වන සියලු දෙනා ද ලොව කොතැන ගියත් මව්බිමට විත් අවසන් හුස්ම හෙලන්න බලා සිටින සියලු දෙනා ද සිය දේශය ත්‍රස්තවාදයෙන් ගලවා ගැනීමේ සටනට හැකි අයුරින් දායක විය යුතු ය.
ඉපදුනු රටට අදහන ආගමට සෙට
මොන මොන අන්දමින් මුත් මෙහෙයක් නොකොට
පැටවුණු බරක් මෙන් ලංකා පොළව පිට
සිටිනා එක හොඳද සිංහල පුතෙකු හට
(එස්.මහින්ද හිමි)

2007-11-27

ත්‍රස්තවාදය සහ අධිරාජ්‍යවාදය -1

ත්‍රස්තවාදය යනු වර්තමානයේ ලොව පුරා ප්‍රබල කතා බහට ලක්ව ඇති
මාතෘකාවකි. 2001 සැප්තැම්බර් 11 වන දින ඇමරිකාවට එල්ල වූ
"ගරු ණය ගෙවීමේ ප්‍රහාරයත්" සමඟ ත්‍රස්තවාදය යනු හැම දන
තුඩග රැව් දෙන වදනක් බවට පත් විය. (මෙම ප්‍රහාරය ගරු ණය ගෙවීමේ
ප්‍රහාරයක් වන්නේ කෙසේදැයි ඉදිරියේ දී වෙනත් ලිපියකින්
පැහැදිළි කිරීමට බලාපොරොත්තු වෙමි.) ත්‍රස්තවාදය යනු
දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට හෝ ආණ්ඩුවකට බලපෑම් කිරීමට
හෝ කරන ප්‍රචණ්ඩ ක්‍රියා යැයි ඔක්ස්පර්ඩ් ශබ්දකෝෂය නිර්වචනය
කර තිබේ. එහෙත් ත්‍රස්තවාද‍යේ සංකීර්ණ ස්වරූපය අවබෝධ
කර ගැනීමට මෙම නිර්වචනය ප්‍රමාණවත් නොවේ. වර්තමානයේ
ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදය මානව අයිතිවාසිකම් වැනි සුන්දර
වෙස් මුහුණු පැළඳ ගෙන කරළියේ රඟන ත්‍රස්තවාදය ඉතා ම
සංකීර්ණ ය. එහෙයින් මහජන මතයකින් පිහිට වූ ආණ්ඩුවකට,
ස්ථාපිත පාලනයකට, යම් ආයතනයකට හෝ යම් පුද්ගලයෙකුට
එරෙහිව අවි බලයෙන් හෝ වෙන යම් උපක්‍රමවලින් කරනු
ලබන සියලු ආකාරයේ අනර්ථකාරී ක්‍රියා ත්‍රස්තවාදය යැයි
නිර්වචනය කළ හැකි ය.පලස්තීන අධිකාරිය සඳහා නව ආණ්ඩුවක්
පත් කර ගැනීම පිණිස 2006 පැවති මැතිවරණයෙන් හමාස්
සංවිධානය විශිෂ්ට ජයග්‍රහණයක් වාර්ථා කළේ ය. මැතිවරණය
සාධාරණ ලෙස පැවති බව යුරෝපීය නිරීක්ෂකයෝ වාර්තා කළ හ.
එහෙත් පලස්තීන නව ආණ්ඩුව ඇමරිකාව ජපානය ඕස්ට්‍රේලියාව
ආදි රටවල් පිළිගත්තේ නැත. ඔවුන් ප්‍රකාශ කළේ හමාස් ත්‍රස්ත
සංවිධානයක් බවයි. නව ආණ්ඩුව සමඟ කිසිදු සාකච්ඡාවක්
ප්‍රතික්‍ෂ්ප කළ මොවුන් පලස්තීනයට නොයෙක් ආර්ථික සම්බාධක
පැනවූ අතර එහි නිලධාරින්ගේ වීසා පහසුකම් ද අත්හිටවූහ. එය
ත්‍රස්තවාදයේ ව්‍යාප්තියට එරෙහිව ගත් විනිවිඳභාවයෙන් යුත්
ක්‍රියා මාර්ගයකැයි මොහොතකට සිතා ශ්‍රී ලංකාව දෙසට හැරෙමු.
වසර 25ක් තුළ ශ්‍රී ලංකාවේ ජන නායකයන් ඇතුළු සිය දහස්
ගණනක් ඝාතනය කළ කෝටි ගණනක් මහජන දේපළ විනාශ කළ,
මෑත ඉතිහාසයේ විදේශ ඇමති ලක්ෂ්මන් කදිරගාමර් ඝාතනය කර
රටේ ආරක්ෂක ලේකම්ට සහ හමුදාපතිට බෝම්බ ගැසු කොටි
ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡා කරන්නැයි මේ ජාත්‍යන්තර
ප්‍රජාව ම ශ්‍රී ලංකා රජයට බල කරති. හමාස් සංවිධානය
ඊශ්‍රායලයට එරෙහිව ප්‍රහාර එල්ල කරන බව සැබෑ ය. එහෙත්
LTTE එකට අලඟු තැබීමටවත් හමාස්වරුන්ට නොහැකි ය.
LTTEය වසර 25ක් තුළ මරා ගෙන මැරෙන කළු කොටි
ප්‍රහාරකයන් පමණක් 343ක් යොදවා ඇති අතර ඉන්
93ක් කාන්තාවන් වේ. එහෙත් හමාස් සහ LTTE ය සමාන
ලෙස සැලකීමට ජගත් ප්‍රජාව සුදානම් නැත.
තවත් නිදර්ශනයක් ගෙන බලමු. ලෙබනනයේ දකුණු දිග
ක්‍රියාත්මක වන හිස්බොල්ලා නමැති සංවිධානය
2006 ජුලි 12 වන දින ඊශ්‍රායල් සෙබලුන් දෙදෙනෙකු ප්‍රාණ ඇපයට
ගත් අතර ඊට පසු දා ම එනම් ජුලි 13 වන දින ඊශ්‍රායලය විසින්
ලෙබනනය ආක්‍රමණය කර සාමාන්‍ය වැසියන් 1000ක් පමණ මරා
දමා කෝටි ගණනක් දේපළ විනාශ කරන ලදි. හිස්බොල්ලා යනු කුඩා
සටන්කාමින් පිරිසක් විනා ලෙබනන් ආණ්ඩුව නොවේ. එබැවින් එම
ආක්‍රමණයප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවක් සහිත ‍සෛරී රාජ්‍යයකට
එරෙහිව කරන ලදත්‍රස්ත ක්‍රීයාවකි. එහෙත් ජගත් ප්‍රජාව එම
ත්‍රස්ත ආක්‍රමණයනතර කිරීමට කිසිවක් නොකළා පමණක් නොව
අරාබි රටවල් ඒ සඳහා දැරූ උත්සාහය ද ව්‍යර්ථ කළේ ය. ජෝර්ජ්
බුෂ් සහ ටෝනි බ්ලෙයාර් මහත්වරුන් එම ආක්‍රමණය සාධාරණීකරණය
කරමින් ප්‍රකාශ කළේ ඊශ්‍රායලයට සිය ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා
කිරීමට අයිතියක් ඇති බවයි. පුදුමය එය නොවේ. 2006 අප්‍රෙල්
මස 25 වන දින ශ්‍රී ලංකා සෛරී ජනරජයේ හමුදාපතිවරයාට
මරා ගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වූ විට ශ්‍රී ලංකා ගුවන්
හමුදාව සාම්පූර් වෙත ප්‍රහාර එල්ල කළේ ය. බ්‍රිතාන්‍යය සහ
ඉන්දියාව ප්‍රමුඛ ජගත් ප්‍රජාව වහාම ප්‍රහාර නවතා සාකච්ඡාමය
විසදුමක් වෙත යන්නැයි බල කළ අතර එම බලපෑම් නිසා ප්‍රහාර
නතර කර දැමීමට ලංකා රජයට සිදු විය. මෙම සිද්ධි දෙක විග්‍රහ
කරන විට කරුණු කිහිපයක් පැහැදිළි වෙයි. හමාස්වරු මහජන
ඡන්දයකින් ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසීමට ගත් උත්සාහයට ජගත්
ප්‍රජාව හරස් වී ඇත.එය කවර ප්‍රජාතන්ත්‍රීය සහ ත්‍රස්ත ලක්ෂණ
දරන ක්‍රියාවක් ද යන්න විමසාබලනු වටී.LTTEයට
ප්‍රජාතන්ත්‍රවාදයට පිවිසීමට ලබා දුන් සියලු අවස්ථා සිය මිලිටරි
බලය ශක්තිමත් කර ගැනීම සඳහා යොදා ගත් අතර දිගින් දිගට ම
ත්‍රස්තවාදය මත විශ්වාසය තබා ක්‍රියා කරනබව නොරහසකි.
විශේෂයෙන් පිරබාහරන් 2001 බලයට පත් රනිල් වික්‍රමසිංහ
මහතා සමඟ අත්සන් කළ ඒකපාර්ශවීය සටන් විරාම ගිවිසුම
සමයේ අවිආයුධ නැව් 11ක් වන්නියට ගොඩ බෑ බව ප්‍රකාශ
කරන ලද්දේ කරුණා අම්මාන් විසිනි. දිගින් දිගට ම පිරබාහරන්
අනුගමනය කළ මෙම කෛරාටික උපායන් නිසා නැවත ඔහු සාමය
ගැන කතා කරන්නේ ඊලාම් යුද්ධයේ ඊළඟ පියවර ආරම්භ කිරීමට
බව දැන් බොහෝ ලාංකිකයෝ දනිති. එහෙත් ජගත් ප්‍රජාව මේ
කිසිවක් නො දනිති.මෑතදී ඊළඟ ඇමරිකන් ජනාධිපති අපේක්ෂිකාව
වන හිලරි ක්ලින්ටන් ප්‍රකාශ කළේ ත්‍රස්ත ක්‍රියා කරන සියලු
සංවිධාන ත්‍රස්තවාදීන් නොවන බවත් විශේෂයෙන් LTTEය
විමුක්ති සංවිධානයක් බවත් ය. මේ අනුව ජගත් ප්‍රජාව ත්‍රස්තවාදය
නිර්වචනය කරන්නේ තමාට ඉන් ලැබෙන වාසි අවාසි මත බව
අවබෝධ කර ගත යුතු ය.

2007-11-23

වෙළඳ දැන්වීම ත්‍රස්තවාදය

වර්තමාන ලංකාවේ සමාජ දේශපාලන සංස්කෘතික විපර්යාස සහ
වෙළඳ දැන්වීම් අතර ඉතා කිට්ටු සබඳතාවක් දැකිය හැකි ය.
විශේෂයෙන් සාම්ප්‍රදායික හර පද්ධතීන් නොසලකා හරින,
තම සම්ප්‍රදාය පිළිබඳ හීනමානයෙන් පෙළෙන, ඒවාට
සිනාසෙන,විදේශීය දේ අවිචාරයෙන් තුරුලු කර ගන්නා,
දේශමාමකත්වයෙන් වියෝවූ පරපුරක් බිහිවීම සහ මේ
දැන්වීම් කලාව(?) අතර ඇත්තේ මවක සහ පුතෙකු අතර
ඇති ඥාති සබඳතාවට නොදෙවෙනි සබඳතාවක් බව පෙනේ.
බොහෝ පිරිසක් රූපවාහිනිය ඉදිරියේ ඉඳ ගෙන සිටින වේලාවට
වැඩි ගුවන් කාලයක්වෙන් වන්නේ දැන්වීම් සඳහා ය. ටෙලි
නාට්‍ය ආරම්භයේ සහ මැද ද ප්‍රවෘත්ති විකාශය ආසන්න වූ
විට ද ක්‍රිකට් තරඟයක 4 හෝ 6 පහරක් එල්ල කළ විට ද පළමුව
ඔබට නැරඹීමට සිදු වන්නේ නානාප්‍රකාර මාදිලියේ දැන්වීම් ය.
එම දැන්වීම්වලින් බොහෝ විට සිදුවන්නේ නව නිෂ්පාදයක් හදුන්වා
දීමට වඩා වෙළඳ සන්නාම හදුන්වා දීමයි.මාසිකව ඔබ ලබන වැටුප
රු. 15 000 ප්‍රමාණවත් නොවන්නේ ඔබට ජීවත් වීමට නොව මෙම
වෙළඳ සන්නාම පරිභෝජනයටයි. සරල උදාහරණයක් ගත හොත්
"පෙත්ත එක නම් පොත්තට ඇයි වැඩිපුර ගෙවන්නේ" කියා එක්
වෙළඳ සන්නාමයක් තවෙකකට විරුද්ධව ගෙන යන ප්‍රචාරණය
තුළ ඇත්තේ එම ලක්ෂණයයි.පැරසිටමෝල් පෙත්තක අන්තර්ගත
විය යුතු රසායනික සංයෝග පිළිබඳ නිර්දේශයන් බ්‍රිතාන්‍යයේ
ලේඛනගත ව පවතින අතර එම ප්‍රමිතීන් අනුව ඕනෑ ම කෙනෙකුට
පැරසිටමෝල් නිපදවිය හැකි ය. තමා කැමති වෙළඳ නාමයක් ද ඊට
දිය හැකි ය.පෙනඩෝල් සහ පැරසිටෝල් යනු එවැනි වෙළඳ සන්නාම
දෙකකි. මෙම දෙවර්ගයේ මිලට විසිතිස් ගුණයක් අඩුවෙන් එනම් ශත
5ක් වැනි මුදලකට පැරසිටමෝල් පෙත්තක් මිලට ගත හැකි ය. එහෙත්
ජන මනස පුරා හොල්මන් කරමින් දැන්වීම්කරුවන් විකුණන සන්නාම
සිහින මිලට ගැනීමට පෙළඹෙන ඔබේ වැටුප මාසයක් ජීවත් වීම සඳහා
ඔබට ප්‍රමාණවත් නොවේ. සැබවින් ම ඔබට ජලය පානයඅත්‍යවශ්‍යය
වුව ද බෝතල් කළ ජලය පානය අත්‍යවශ්‍යය නැත.එමෙන් ම
කොකාකෝලා පානය අත්‍යවශ්‍යය නැත. (වතුර සමඟ CO2 සහ විවිධ
රසකාරක මිශ්‍රකර තනා ගන්නා කොකාකෝලා සඳහා ලෝකය පුරා
ගොඩ නැගෙමින් ඇත්තේ හොඳ ප්‍රතිරූපයක් නෙවේ. විශේෂයෙන්
ඉන්දියාවේ මෑතක දී කළ පර්යේෂණයක දී සිසිල්
බීමවල ඇතුලත්
විය හැකි උපරිම රසායනික සංයෝග ප්‍රතිශතය මෙන් 35 ගුණයක්

කොකාකෝලාවල ඇතුලත් බව සොයා ගත්තේ ය. කෘෂිකාර්මික
කටයුතු සඳහායොදන විවිධ රසායනික එක් වූ භූගත ජලය කොකාකෝලා
නිෂ්පාදනයට යොදා ගැනීම මීට හේතු වී ඇත. ඒ සමඟ ම ඉන්දියාවේ
ඇතැම් ප්‍රාන්තවල සහ විශ්වවිද්‍යාලවලකොකාකෝලා අලෙවිය
තහනම් කරන ලදි. එමෙන් ම විවිධ රටවල ජනතාව සතු ජල අයිතිය
මංකොල්ලා කන සමාගමක් ලෙස ද කොකාකෝලා කුප්‍රකට නමක්
දිනා ගෙන ඇත.) එමෙන් ම මෙම දැන්වීම් විටෙක පතාළ කල්ලි
සමාජිකයන් සේ අපේ ජීවිතවලට තර්ජන එල්ල කිරීමට ද පසුබට
නොවේ. කිරි පිටි පානය නිරෝගී ජීවිතයකට කිසිසේත් අත්‍යවශ්‍යය
නොවුණ ද දැන්වීම් කරුවන් අපට පවසන පරිදි ඒ ඒ කිරි වර්ග
නොබිව්වොත් අස්ථි දිරා යයි. ළමයාගේ බුද්ධි වර්ධනය ඇනහිටී.
කාර්යක්ෂමතාව නැති වී කුසීත වේ. එහෙයින් වහාම ඒ කිරි වර්ගය ම ඔබ
පානය කළ යුතු ය.පෝෂ්‍යදායි ආහාර වේලක් සඳහා මස් පමණක් නොව
සොසේජස් ද ආහාරයට එක් කර ගත යුතු ය. මේ වූ කලී ත්‍රස්තවාදයකි.
පාරිභෝගිකයා බිය ගන්වා මංකොල්ලා කෑමකි.එය ධනවාදයේ ස්වභාවය
බව කොමියුනිස්ට් ප්‍රකාශනයේ සඳහන් වේ. "ධනපති පංතිය
ආධිපත්‍යය ලැබූ හැම තැනෙකකම සියලු රදලවාදී පිතෘ මූලික
පරමාදර්ශි (චාන් ගැමි ජීවිත)සබඳකම් විනාශ කළේ ය. "ස්වාභාවික
ස්වාමිවරුන්ට" මිනිසා බැඳ තිබුනු අනේකවිධ රදළවාදී බන්ධනයන්
අනුකම්පා විරහිත ලෙස සිඳ බිඳ දැමු ධනපති පංතිය මිනිහෙකු සහ
මිනිහෙකු අතර නග්න ස්වාර්ථකාමය හැර, අනුකම්පා විරහිත ලෙස
මුදල් ගෙවීම හැර, වෙනත් කිසිදු සබඳකමක් ඉතිරි නොකළේ ය.
ආගමික භක්තිය ද ධීර-වීර උනන්දූව ද අවරසිකවාදී අනුරක්තතාව
ද අරබයා වූ ස්වර්ගමය ආනන්දයත් ආත්මාර්ථකාමී ගණන්
බැලීම නමැති අයිස් වතුරෙහි ගිල්වා දමන ලදි. එය පෞද්ගලික
අගය හුවමාරු වටිනාකම බවට පෙරලන ලදි.එමෙන් ම සංඛ්‍යා
විරහිත, උදුරාගත නොහැකි, වර සහිත නිදහස් අයිතීන් වෙනුවට
හෘද සාක්ෂියට කොහෙත් ම එකඟ නොවන එක ම නිදහස වන
වෙළඳාම් කිරීමේ නිදහස පිහිටුවාලී ය. වෙනත් වචනයකින්
කියතොත් ආගමික සහ දේශපාලනික මායාවන්ගෙන්
වසා තිබුණු සූරාකෑම වෙනුවට එය විවෘත ලැජ්ජා විරහිත ඍජු
කෲර සූරාකෑම ආදේශ කළේ ය."
අප ජීවත් වන ලිබරල් සමාජය
තුළ ජනතාව වෙනුවෙන් රාජ්‍ය තව දුරටත් පෙනී නොසිටින බැවින්
මෙම ඛේදවාචකයෙන් ගැළවීම "තමා හිසට තම අතමය සෙවනැල්ල"
යන ආප්තෝපදේශය අනුව තම තම නැණ පමණින් කර ගත යුත්තක්
බව ලියා තබමි.

2007-11-20

සුද්දො ආවේ රට කරන්න

පනාමුරේ... පනාමුරේ... ඇත් රාජා
ගුණපාල මලලසේකර නම් ගායකයෙකු විසින් ගයන මේ
ගීතය ඇසෙත් ම වසර 450ක පමණ යටත් විජිත යුගයේ
දී මෙරට වැසියා පමණක් නොව සතා සීපාවා පවා මුහුණ
දුන් අනුවේදනීය අත්දැකීම් අපට මනසින් ස්පර්ශ කළ
හැකි ය. 1848 කැරැල්ල මැඬලීමට අනුගමනය කළ
ම්ලේච්ඡ උපායන් මෙහි දී සිහිපත් කර ගත යුතු ය.
ප්‍රදේශයේ පිරිමි සහ ගර්භණී මව්වරු සමූල ඝාතනය
කිරීමට ද සියලු කෙත්වතු කුඹුරු ගිනි තබා විනාශ කිරීමට
ද කෑමට හැකි ගෙඩි හැදෙන ගස්වැල් කපා විනාශ කිරීමට
ද එවකට ආණ්ඩුකාරයා විසින් නියෝග කරන ලදි. සිය
රටේ සම්පත් අමු අමුවේ කොල්ලකෑමට විරුද්ධව නැඟී
සිටි පිරිස් මර්දනය කළ යටත් විජිත පාලකයෝ රිසි සේ
සිය කොල්ලකෑමේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන ගිය හ.
කුරුදු, ගම්මිරිස්, මැණික්වලින්නොසෑහුනු ඔවුහු ඇත්
දත් ජාවාරම ද ජයට ම කර ගෙන ගිය හ. මෙම ජාවාරම
හමුවේ දේශීය අලි සම්පත මහත් අකරතැබ්බයකට
මුහුණ පෑවේ ය.1505 ලංකාවේ අලි ගහනය 25 000ක්
විය. 1948 සුද්දා මෙරට අතහැර යන විට
ලංකාවේ
අලි සිටියේ 800කි.
2007 වන විට ලංකාවේ වල් අලි
සම්පත 4000 දක්වා නැවත වර්ධනය වී ඇත.එය සමස්ත
දකුණු ආසියානු අලින්ගෙන් 90%කප්‍රතිශතයකි.එහෙත්
ආසියානු අලි බිම්වලින් ලංකාවේ ඇත්තේ 2%කි.එම බිම්
ප්‍රමාණවත් වන්නේ අලි 1200කට පමණි.මේ නිසා අලි
ඇතුන්ට ආහාර සොයා ගැනීමේ දැඩි අර්බූදයකට මුහුණ
දී ඇත. විශේෂයෙන් සීඝ්‍ර ජනගහන වර්ධනයත් සමඟ
වනාන්තර හෙළි කර නිවාස සහ කෘෂි කටයුතු සඳහා
යොදා ගන්නා නිසා අලින්ගේ වන බිම් සහ අලි මංකඩ
වේගයෙන් විනාශ වෙමින් පවති. මෙහි ප්‍රතිඵලය ලෙස
අලි-මිනිස් ගැටුම් හට ගත් අතර දැනට ගම් 400ක පමණ
මෙම අර්බූදය ව්‍යාප්ත වී ඇත. මීටඅමතරව හීලෑ අලි 137ක්
ද ඇතුන් 17ක් ද දැනට ලංකාවේ ජීවත් වෙති.වාර්ෂික ව
ලංකාවේ පවත් වන පෙරහැර 70ක පමණ ගමන් ගන්නේ
මේ අලි ඇතුන් ය. අලි මරා දැමීම නීති විරෝධි වන අතර
රු.100 000-250 000ක් දඩ මුදලක් සහ මාස 6 සිට
වසර 5 දක්වා සිර දඬුවමක් හිමි වේ. අවාසනාවට මේ
දඩුවම් හිමි වන්නේ සිය ජීවිතාරක්ෂාවට සහ වඟා පාළු
කරන අලි ඇතුන් පන්නා දමන්නට තුවක්කු පාවිච්චි
කරන ඈත පිටිසර ගොවියෙකුට ය. කිසිම හේතුවක් මත
ශ්‍රී ලංකාවේ අලි ඇතුන් මරා දැමීම කවර හේතුවක්
නිසාවත් සමාව දිය යුතු වරදක් නොවේ. එහෙත් අලි
ඇතුන් ගම් වැදීම නිසා ගොවීන් මුහුණපාන ගැටළුවලට
වහා ම විසඳුම් ලබා දිය යුතු ය. එමෙන් ම ශ්‍රී ලංකාවේ
අලි සම්පතට විශාල ම විනාශය කළේ සුදු ජාතිකයන්
බැවින්
මෙම නීති අතීතයට බලපාන පරිදි පනවා
ඔවුන්ගේ මව් රටවලට විරුද්ධව ක්‍රියා
කිරීමේ
හැකියාව සොයා බැලිය යුතු ය.
එම රටවලින් යම්
වන්දි මුදලක් ලබා ගෙන ඒවා අලින්ගේ සුභසාධන
කටයුතුවලට බැර කළ යුතු ය. එම රටවලින් ලැබෙන
ඩොලර්වලින් ජීවත්වෙමින් මානව අයිතිවාසිකම් සහ
සත්ත්ව අයිතීන් පිළිබඳව අපටඋගන්වන්නට එන
නෝනා මහත්වරු මේ ඉතිහාසය සිහිපත් කර ගත
යුතු ය.
"සත් මුහුදින් එතෙර ගුගුරුවා
බතරොයි උගුරු දණ්ඩ
හත් දෙයියන් බලා ඉද්දි
සුද්දො ආවේ රට කරන්න
මහත්වරුනි දන්නවා ද
සුද්දො ආවේ රට කරන්න"
(රත්න ශ්‍රී විජේසිංහ)

2007-11-19

කට හින්දා නහිමු ද ?

වත්මන් බ්‍රිතාන්‍යය අගමැති ගෝල්ඩ්න් බ්‍රවුන් මහතාට පෙර එරට අග්‍රාමාත්‍යධූරය දැරුවේ ටෝනි බ්ලෙයාර් මහතා ය.එකල බ්‍රිතාන්‍යය ළමුන්ගෙන් 20%ක් අධික ස්ථුලත්වයට ද තවත් 30%ක් දියවැඩියාවට ද ගොදුරු වී ඇති බව අනාවරණය විය.මේ පිළිබඳ සොයා බැලු අගමැතිවරයා ප්‍රකාශ කළේ රකුසන් තිදෙනෙක් තම රටේ ළමා පරපුර ගිළ ගෙන ඇති බවත් වහා ම ඊට පිළියම් යෙදිය යුතු බවත්ය. ඔහු රකුසන් ලෙස නම් කළේ සුදු පාන්, සුදු සීනි සහ සුදු බටර් ය. අතීතයේ "පෙරදිග සහල් ධාන්‍යාගාරය" යයි විරුදාවලි ලත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය බ්‍රිතාන්‍යයේ තත්ත්වයට කිසිසේත් දෙවැනි නොවේ.
අතීතයේ තුන් වේලට ම බත් කෑ සිංහලයා සයුර පරයන මහා වැව් ද අහස සිඹින සුවිසල් චෛත්‍ය ද ගොඩ නැංවූහ. ගල් විහාරය, සීගිරිය, ලෝවාමහපාය, පරාක්‍රමබාහු මාළිගය ආදි නිර්මාණ කළහ.කව්සිළුමිණ, අමාවතුර, සද්ධර්මරත්නාවලිය ආදි සාහිත්‍ය නිර්මාණ කළහ.
දැන් සිංහලයා තුන් වේලට ම පාන් ද අතුරු වේල් සඳහා ක්‍ෂණික ආහාර (සෝට්ඊස්ට්) ද කමින් මෝඩයන්ට වෙන්වූ රූපවාහිනි නාළිකාවේ මහ ගෙදර සහ සුපර්ස්ටාර් වසුරු මානසික ආහාරය කර ගනිමින් ඔහේ ජීවිතය ගෙවා දමයි. වඩාත් හොඳින් කිවහොත් මහාරාජා වෙනුවෙන් ජීවත් වෙති.
මීට දශක දෙක තුනකට පෙර ලංකාවේ සිටි දියවැඩියා රෝගීන් මෙන් පනස් ගුණයක් පමණ දියවැඩියා රෝගීන් දැන් ලංකාවේ සිටින බව වාර්ථා වේ.දියවැඩියාවේ රෝග නිධානය අන් කිසිවක් නොව මෙම විකෘති ආහාර පුරුදු සහ කුසීන දිවි පෙවෙත බව පැහැදිළි ය. නවීන තාක්ෂණික දියුණුව සමඟ බිහිවන විවිධ යන්ත්‍ර සූත්‍ර උපාංග මිනිසා තව තවත් කම්මැලි කර ඇත. නිවසින් වාහනයට නැගෙන ඔබ කාර්යාල පරිශ්‍රයේ --- නිල කාමරයට ගොස් කැරකෙන පුටුවේ වාඩි වී දුරස්ථ පාලකයෙන් වායු සමීකරණ පණ ගන්වා ස්ථාවර දුරකතනය වෙනුවට ජංගම දුරකතනයෙන් කතා කරමින් පියන්වරු ලවා සියල්ල අත ළඟට ගෙන්වා ගෙන ලිපි ලේඛන සකසමින් සිට රාත්‍රියට නැවත ගෙදර ගොස් වතුර මලින් නා පුටුවක දිගෑදි දුරස්ථ පාලකයෙන් රූපවාහිනිය පණ ගන්වා එය නරඹා නින්දට ගොස් නැවත පුරුදු චක්‍රය උදෑසන ආරම්භ කරන කෙනෙක් ද? ඔබේ ප්‍රධාන ආහාරය පාන් පිටියෙන් තැනූ විවිධ නිෂ්පාදන ද? එසේ නම් ඔබේ ජීවිතය ද දියවැඩියාවෙන් කෙළවර කර ගැනීමේ සුදුසුකම් ඔබ දැනටමත් සපුරා ඇත.
දියවැඩියාව ඉතා ම කරදරකාරි රෝගයකි. ඔබේ අතක පයක සැදෙන කුඩා තුවාලයක් අත හෝ පය කපා ඉවත් කර දැමීමට තරම් දුරදිග යා හැකි ය. ආහාර පාලනය කිරීමට සහ දිනපතා බෙහෙත් අහුරු පිටින් ගිල දමන්නට ඔබට සිදුවනු ඇත.ඇස් පෙනීම අඩුවීම,අක්මාව ආශ්‍රිත ආබාධ ආදි විවිධ ශාරිරික දුබලතා සහ ලිංගික බෙලහීනතාවන්ට ඔබ ගොදුරු වනු ඇත.
මෙම පීඩාකිරි රෝගය පරම්පරාවෙන් බෝවීමේ ප්‍රවණතාවක් තිබුණ ද වෙනත් වසංගත රෝග මෙන් (ඒඩ්ස් වැනි රෝග) පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය නොවේ.සතුන්ගෙන් බෝ (ඩෙංගු, මැලේරියා) නොවේ.සැබවින් ම මේ මිනිසා සිය චර්යාවන් මගින් අත් කර ගන්නා රෝගයකි. ඒවා පරිචිත රෝග ලෙස වෛද්‍ය විද්‍යාවේ දී හැදින් වේ.
දියවැඩියාවෙන් ගැලවීමේ හැකියාව අප සියලු දෙනා සතුව ඇත. ඒ සදහා කළ යුත්තේ ඉතා ම සුළු කැප කිරීමකි. ඒ අන් කිසිවක් නොව අපේ ආහාර පුරුදු යථා තත්ත්වයට පත් කර ගැනීම සහ ක්‍රියාශීලි දිවි පෙවෙතකට හැඩ ගැසීමයි.නිරෝගි ජීවිතයක් යනු නිසල මනසක් සහ ක්‍රියාශීලි ශරීරයකි. මේ වන විට ඔබේ ජීවිතය සම්පූර්ණයෙන් විකෘති වී ඇති බව ඔබට පෙනී යනු ඇත. මනස සසල වී දස අතේ දිව යන අතර ශරීරය එක් තැනකට සීමා වී කුසීත වී ඇත. මේ තත්ත්වයෙන් ගැළවීම යනු දියවැඩියාව කරා දිව යන ඔබේ ගමනේ නැවතීම වන අතර සෞඛ්‍යය සම්පන්න ප්‍රීතිමත් දිවි පෙවෙතක ආරම්භය ද වනු ඇත.

2007-11-16

නියංදාවත

රාස්සිගේ අව්වට
ගිනි ගත් වැලි තලා පිට
දැන් බෝ කලක සිට
ඇදෙයි මේ ඇළ හෙමිහිට

සුන්දර ලියක ලෙද
සොලවා සුමුදු මුදු බද
හස ගමනින් නිබඳ
පෙර ගිය ගමන් කෝ අද

වැහි වලා අතරින්
විදිලි එළි පෙළ විලසින්
පැන නැටූ සතුටින්
කුඩ මසුන් කොහි ගියෙද විගසින්

පිහිනීම ද නපුරු
එකෙකුට රැගෙන ආ මරු
ගොරක්වළ බියකරු
බලන්! අද දිය කඩිත්තක් යුරු

ගල මතින් වැගිරී
සළුවක් විලස විසිරී
හෝ හඬක් පැතිරී
ඇල්ල කඳුලක් විලස ඉහිරී

පවසට දරනු බැරි
බැද්ද වැල්ලේ එරි එරි
ඇළ මැදට දිය’තිරි
ගාටනා සැටි බලන් මැරි මැරි

උස්සාන රෙදි පොට
නැඟ නැඟ ඇඟිලි තුඩු පිට
ගිය ළඳුන් දිය පිට
පතුල් නොතෙමා ගියා එගොඩට

වැඩි කතා බස් නැති
හේනට යන්න හිත නැති
උඩ බැලූ ඇස් ඇති
තාත්තා වැල් ඇදේ හිඳ ඇති

කුස්සියේ වැඩක් නැති
අම්මා පිනට හිත ඇති
මල්ල පතුලේ ඇති
වී මිටක් සියොතුන්ට දන් දෙති

රන් අකුරින් ලිවීම

ඉතිහාසයේ රන් අකුරින් ලිවීම යන්නෙන් ව්‍යංගයෙන් පැවසෙන්නේ යම් ක්‍රියාවක ගැබ්වී ඇති ශ්‍රේෂඨත්වයයි. කිසියම් සිදුවීමකට ඉතිහාසය විසින් උරුම කර දෙන ප්‍රෞඩ ස්ථානය ඉන් ඇඟ වේ. දුටු ගැමුණු රජතුමා විදේශ ආක්‍රමණිකයන් පරාජය කර රට එක්සේසත් කිරීම, මහා පරාක්‍රමබාහු රජතුමා රට සහලින් ස්වයංපෝෂිත කිරීම, ගජබා රජතුමා චෝළ දේශය ආක්‍රමණය කිරීම, 2වන රාජසිංහ රජතුමා කළ මුල්ලේරියා සටන, ඇහැළෙපොළ අධිකාරම්ගේ පුත් මද්දුම බන්ඩාරගේ වීර ක්‍රියාව ඉන් කිහිපයකි. එපමණක් නොව රුවන්වැලිය-ජේතවනය-අභයගිරිය ආදී දාගැබ් ද , පරාක්‍රම සමුද්‍රය-තිසා-කලා-බසවක්කුලම ආදී මහා වැව් ද , ලෝවාමහපාය- සීගිරිය- ඉසුරුමුණිය ආදී කලා නිකේතන ද කළ රජවරු ඉතිහාසයේ රන් අකුරින් ලියවිණි.මෑත ඉතිහාසයේ එස්.මහින්ද හිමි, මහාචාර්ය සේනක බිබිලේ, ආනන්ද කුමාරස්වාමි, කුමාරතුංග මුනිදාස, ඊ.ඩබ්.අධිකාරම්, මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්‍ද්‍ර, අමරදේව, සිරිල් පොන්නම්පෙරුම, ලක්‍ෂමන් කදිරගාමර්,ඩෙන්සිල් කොබ්බෑකඩුව, ගාමිණි කුරුකුලරත්න, සුසන්තිකා ජයසිංහ ආදීහු තමන් නියෝජනය කළ ක්‍ෂේත්‍රවල සිය නම රනින් ලියා තැබූහ. මේ ඉතිහාසය කෙටියෙන් සිහිපත් කළේ අන් කිසිවකට නොව ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් කරන ලද රන් අකුරින් ලියවෙන (ආණ්ඩුව පවසන පරිදි) වැඩක් ගැන හෙළි කිරීමටය.
1970 දශකයේ පමණ සිට මෙරට රාජ්‍ය නායකයෝ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදි ජගත් කළු කඩ මුදලාලිලාගෙන් ණය ගැනීමට පුරුදු වූහ. අත නොසොල්ලා කට සෙලවීමට රහ වැටුණු නායකයෝ ටික ටික සිය රටේ අභිමානය පාවා දෙමින් ද මුදලාලිලාගේ පදයට නටමින් ද රටේ සම්පත් විකුණමින් ද ලෝකේ වටේ සවාරි ගසමින් ණය කැඩූහ. රටේ අනාගතය උකසට තැබූහ. අනෙකාට වැඩියෙන් කීයක් හෝ ණයට ගැනීම ඔවුන්ගේ අභිමාණයට කරුණක් විය. සුපුරුදු පරිදි මෙවර ද ආණ්ඩුව හිඟමනේ ගිය අතර හිඟා කෑම මහා පරිමාණ කර්මාන්තයක් බවට පත් කළ යූඇන්පිය ආණ්ඩුවට හිඟමන් දෙන්න එපා යයි තප්පුලන්න විය. මේ තරඟයෙන් ජය ලැබූ ආණ්ඩුවේ (පරාජය වුයේ රටය-දැන් සෑම ශ්‍රී ලාංකිකයෙකු ම රු.ලක්‍ෂ 2ට කිට්ටු ණයකාරයෙකි. ) නියෝජ්‍ය මුදල් ඇමතිවරයා සිය ජයග්‍රහණය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු ඇතැයි පැවසුවේ ය. මහා කාරුණික ඒ සිටුවරුන්ගේ හදවත් උණු වී තමා ඉල්ලා සිටි මුදලටත් වඩා මුදලක් දුන් බව ද කීවේ ය. මා කලින් පෙන්වා දුන් කරුණු සලකා බලා මේ ක්‍රියාව ඉතිහාසයේ ලියවෙන අකුරු වර්ගය කුමක්දැයි තීරණය කිරීමේ අවස්ථාව ඔබට ලබා දෙමි.

2007-11-15

ස්වාධීන මාධ්‍යය නිරුවත

ස්වාධීන මාධ්‍ය යනු අන්තවාදී පක්ෂග්‍රාහී පටු සීමා පවුරුවලට
කොටු නොවු පුවතක යථාර්ථය ජනතාව වෙත ගෙන යන
මාධ්‍යයයි. ඒ ඒ මාධ්‍යය රාජ්‍ය සහ පුද්ගලික ප්‍රාග්ධන
ආයෝජනය මත රඳන පසුබිමක මාධ්‍ය අයිතිකරුවන්ගේ
ප්‍රතිපත්ති,දේශපාලන රුචි අරුචිකම් මාධ්‍ය ස්වාධීනත්වය
කෙරෙහි යම් බලපෑමක් කළ හැකි ය. ඒ නිසා 100%ක ස්වාධීන
මාධ්‍යයක් මෙතෙක් ලොව නොපැවති අතර අනාගතයේදී ද බිහි
නොවනු ඇත.එහෙත් ත්‍රස්තවාදය වැනි බිහිසුණු ක්‍රියාදාමයන්
හමුවේ මෙවැනි නැඹුරුවක් කිසිදු ශිෂ්ට රට වැසියෙක් අනුමත
නොකරනු ඇත. පුරා වසර 25ක් ත්‍රස්ත අරගලයකට ද
කොල්ලකාරි විවෘත ආර්ථිකයට ද ගොදුරුවී ඉන් අනන්තාපරිමාන
පීඩා විඳ මනස ඔද්දල් ව හෙම්බත් වූ ශ්‍රී ලාංකිකයාට (සිංහලයාට)
ඉන්දියානු කසිකබල් ටෙලි නාට්‍ය පෙන්වා මඩිය තර කර ගන්නා
මෙරට මාධ්‍ය ජාලයක් මේ රටේ ජනාධිපතිවරයා හදුන්වන්නේ
"ජනාධිපති මහින්ද රාජපක්‍ෂ"යනුවෙනි. නොබෝදා ශ්‍රි ලංකා
ගුවන් හමුදා ප්‍රහාරයකින් මිය ගිය ත්‍රස්තවාදී නායක තමිල්
සෙල්වම් "LTTE දේශපාලන අංශ නායක එස්.පී.තමිල් සෙල්වම්
මහතා"ය. සිංහල දෙමළ ජන නායකයන් ඇතුළු සිය දහස් ගණනක්
ඝාතනය කළ සංවිධානයක නියෝජ්‍ය නායකයා මහත්මයකු වන
අතර රටේ ප්‍රධාන පුරවැසියා ද ආණ්ඩුවේ ප්‍රධානියා ද විධායකයේ
ප්‍රධානියා ද කැබිනට්ටුවේ ප්‍රධානියා ද වන ජනාධිපතිවරයාට
නිකමෙකුට මෙන් අමතන මාධ්‍යයක ත්‍රස්තවාදි මුහුණ හදුනා
ගැනීමටත් එය හෙළි කිරීමටත් දේශප්‍රෙමි පිරිස් ඒකරාශි විය යුතුය.
අමිහිරි විවාහ ජීවිත නමැති බෙර බැඳ ගත් පළියට ගසමින් ද
අතොරක් නැති ප්‍රශ්නවලින් මිරිකෙමින්ද ජීවිතය විඳවන
ගැහැනුන් ද එන එන රැල්ලට පැන උණුවන දිය සැලියේ කෙළින
ගැටවරයන් ද කුලප්පු කරන සුපර්ස්ටාර් නාඩගමට මුවා වී
මෙකී මාධ්‍යය ගෙන යන දේශදෝහි කුමන්ත්‍රණයට තවත්
ඉඩ දිය යුතු නැත.

2007-11-06

සිංහල කවිය යනු කුමක් ද?

කවිය යනු රසවත් වැකිය යයි පුරාණ භාරතීය පඬිවරු කී හ.(කාව්‍යයං රසාත්මක වාක්‍යයං) භාරතීය සාහිත්‍යය සංදර්භය තුළ කාව්‍ය යනු හුදු පද්‍ය නොවේ. කාව්‍ය නමැති ප්‍රධාන ඒකකය තුළ ගද්‍ය කාව්‍ය, පද්‍ය කාව්‍ය සහ චම්පු කාව්‍ය යන උප ඒකක ඇතුලත් විය. එහෙත් සිංහල සාහිත්‍යයේ කවිය යන්නෙන් සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ පැදි ය. වෙනත් ලෙසකින් කිවහොත් සිංහල සාහිත්‍යයේ දී කවිය යන පදය එහි භාරතීය පුළුල් අරුතින් මිදී හුදු පද්‍ය යන සංකෝචිත අර්ථයෙන් ඊට පර්යාය පදයක් ලෙස යෙදේ. එහෙයින් සිංහල කවිය නිර්වචනය කිරීමේ දී පෙර දැක්වූ භාරතීය නිර්වචනය මත පඳනම් වීම අර්ථ විරහිත ය. මන්ද සංස්කෘත කාව්‍යයේ එක් අංගයක් පමණි;සිංහල කවිය.සිංහල කවිය නිර්වචනය කර ගැනීමට යමෙක් භාරතීය පද්‍ය කාව්‍ය යන්න ඉවහල් කර ගත්තා නම් එහි යම් තර්කානුකූලත්වයක් ඇත. කෙසේ වුව ද සිංහල කවිය, භාරතීය කාව්‍ය මත තබා හදුනා ගැනීමට යාම,දෑතින් හුලං බදන්නාක් වැනි නිශ්ථල ක්‍රියාවකි. සිංහල කවිය නමැති සියුම් සාහිත්‍යාංගය හදුනා ගැනීමට එකී මිනුම් දඬු දරදඬු වැඩි ය.
විසිවෙනි සියවසේ සිංහල කවිය හදුනා ගැනීමට උත්සාහ කළ බොහෝ විද්වතුන් මෙකී වෙනස හදුනා ගත්තේ නැත. මාර්ටින් වික්‍රමසිංහ,ආරිය රාජකරුණා,සිරී ගුනසිංහ,ජී.බී.සේනානායක ආදිහු මේ අතර වේ.මොවුන් සිංහල කවිය නිවැරදි ව අවබෝධ නොකර ගත් නිසා සිදු වූ හානිය අති විශාල ය. සිංහල කවි කෙත වසා පැතිර එම කෙත පුරන් කළ නිසදැස් වසංගතය එම හානියකියාපාන ජීවමාන නිදර්ශනයකි.